අපරාධකාරයන්ගේ රාජ්‍යය -වික්ටර් අයිවන්

Dec 28, 2015

ජනාධිපතිවරයා යාපනේ සිට උතුරේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලු ගැන කරන ලද කතාව සේම අගමැතිවරයා දියතලාවේ සිට යුද්ධය හා යුද්ධයෙන් පසුව ආරක්ෂක හමුදා විෂයෙහි ඇති කළ යුතුව තිබෙන ප‍්‍රතිසංස්කරණ අළලා කරන ලද කතාවද ඉතාමත් ඉදිරිගාමීය. එමගින් මෙම නායකයන් දෙදෙනා රටට දෙන ලද පණිවුඩය ඉතා වැදගත්ය. ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ඇති විට ඒ වෙනුවෙන් පෙනී සිටින නායකයන් එම ප‍්‍රතිසංස්කරණ වැඩසටහන වෙනුවෙන් නිර්භීතව පෙනී සිටිය යුතුය. එයින් රටට සිදුවන යහපත මහජනයාට කියා දිය යුතුය. මහජනයාට පමණක් නොව එම නායකයන් දෙපළ තමන් කරන්නට යන දෙය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ටද, පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන්ටද කියා දිය යුතුය.

ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කෙරෙන පරීක්ෂණයට එරෙහිව හමුදා බුද්ධි අංශය මුවාවක් කොට ගනිමින් ඒකාබද්ධ විපක්ෂයට ලොකුවට කෑගසන්නට පුළුවන්කම ලැබී ඇත්තේ එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියේ ඇත්ත මහජනයාට කියාදෙන වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති නිසාය. එක්නැළිගොඩ එල්ටීටීඊය සමඟ සම්බන්ධකම් පැවැත්වු සැකකටයුතු පුද්ගලයකු බවට ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ඇතැම් ජනමාධ්‍ය පවා එල්ල කරමින් තිබෙන චෝදනාවල කිසිදු සත්‍ය පදනමක් නැති බව එක්නැළිගොඩ අතුරුදන්කිරීමේ සිද්ධිය පිළිබඳව කෙරෙන පරීක්ෂණවලින් මනා ලෙස තහවුරු වී තිබේ. එක්නැළිගොඩ එල්ටීටීඊයේ සමහර පුද්ගලයන් සමඟ දුරකතනයෙන් කරන කතා ඇතුළත් හඬපටියක් තමන් සන්තකයේ තිබෙන බව බුද්ධි අංශයේ නිලධාරියකු ප‍්‍රකාශ කර තිබුණද එවැනි හඬ පටියක් බුද්ධි අංශය සතුව පවතී නම් එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇතත් අද දක්වා එවැනි හඬපටියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට හමුදා බුද්ධි අංශය සමත් වුයේ නැත.

දැනට ඉදිරිපත්වී තිබෙන සියලු සාක්ෂි අනුව පෙනී යන්නේ එක්නැළිගොඩ 2010 පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකාගේ ප‍්‍රබල ආධාරකරුවකු වු බවය. ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ වෛරයට හේතුවී තිබෙන්නේ ජෙනරාල් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් රාජපක්ෂ පවුලේ පවුල් ගහක් අළලා ලියවිල්ලක් සකස් කිරීම හා රාජපක්ෂ පාලනය පිළිබඳ විරිදු තැටියක් නිර්මාණය කිරීමය. කොළඹ බත්තරමුල්ලේදී සිදුවන පැහැර ගැනීම සඳහා ගිරිතලේ හමුදා කඳවුරේ ප‍්‍රධානියා එහි සිට කොළඹට පැමිණ තිබෙන අතර බත්තරමුල්ලේදී පැහැර ගන්නා ලද එක්නැළිගොඩ ගිරිතලේ කඳවුරට රැගෙන ගොස් ඇත්තේද එම හමුදා නිලධාරියා ප‍්‍රමුඛ කණ්ඩායමක් විසිනි. මේ බව මෙම පරීක්ෂණයේදී එම හමුදා නිලධාරියා පිළිගෙන තිබෙන්නේය. හමුදා බුද්ධි අංශයටද සම්බන්ධ මෙම හමුදා නිලධාරියා ආරක්ෂක ලේකම්වරයාට සමීප සම්බන්ධයක් තිබු පුද්ගලයෙකි. ආරක්ෂක ලේකම්වරයාගේ වුවමනාව මත අන්තවාදී සිංහල සංවිධාන පෝෂණය කිරීම සඳහා රහසේ පවත්වාගෙන ගිය වැඩසටහනක සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක‍්‍රියා කොට ඇත්තේද මෙම හමුදා නිලධාරියා ය. සිංහල අන්තවාදී ගණයෙහිලා සැලකිය හැකි දේශපාලන ප‍්‍රවණතාවල නායකයන් සමඟද මෙම හමුදා නිලධාරියාට සමීප සම්බන්ධයක් තිබී ඇත්තේය. ඉහළින් ලැබුණු නියෝගයක් නොවේ නම් එක්නැළිගොඩ වැනි පුද්ගලයකු පැහැර ගෙනයෑම සඳහා ඔහු වැනි උසස් නිලධාරියකු ගිරිතලේ සිට කොළඹට පැමිණෙනු ඇතැයි සිතිය නොහැකිය.

එක්නැළිගොඩ පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙනයෑමෙන් පසු ඔහු ප‍්‍රශ්න කිරීම සඳහා භාරදී ඇත්තේ එම හමුදා කඳවුරේ සාජන් මේජර් රන්බණ්ඩාටය. ඒ බව එම සාජන් මේජර්වරයාද පිළිගෙන තිබේ. එම සාජන් මේජර්වරයා ප‍්‍රකාශ කර තිබෙන ආකාරයට ඔහු එක්නැළිගොඩගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ ඔහු නිපදවූවා යැයි කියන විරිදු තැටිය ගැන හා ඔහුගේ රාජපක්ෂ පවුල් ගහ ගැන පමණය. ඒ හැර එල්ටීටීඊය ගැන එක්නැළිගොඩගෙන් කිසිදු ප‍්‍රශ්න කිරීමක් කර නැත. ඉන් පෙනී යන්නේ එක්නැළිගොඩ එල්ටීටීඊයට සම්බන්ධ පුද්ගලයකු ලෙස හමුදා බුද්ධි අංශය පවා නොසැලකූ බවය. එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කර තිබෙන පරීක්ෂණ අනුව හා අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙන සාක්ෂි අනුව පෙනීයන්නේ එක්නැළිගොඩ පැහැරගෙන යෑමට බලපා තිබෙන ප‍්‍රධාන හේතුව වී ඇත්තේ රාජපක්ෂ පාලනය විවේචනයට ලක් කරන විරිදු තැටියක් නිර්මාණය කිරීම හා රාජපක්ෂ පවුල පවුල් ගහක් ලෙස සලකා විස්තර කෙරෙන ලේඛනයක් සකස් කිරීම ය. මෙම කාරණා දෙකම රාජ්‍ය ආරක්ෂාවට අදාළ කාරණා ලෙස සැලකිය නොහැකිය. අපහාසය සාපරාධී වරදක් ලෙස නොසැලකෙන නිසා එම ලේඛන දෙකේ අපහාසයක් තිබුණද පොලිසිය හෝ ආරක්ෂක බුද්ධි අංශයට එවැනි කරුණක් විමර්ශනය කළ නොහැකිය. මේ සිද්ධියෙන්ද පෙනීයන්නේ බුද්ධි අංශයේ ඇතැම් සාමාජිකයන් ආණ්ඩුවේ පටු දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ආණ්ඩු විරෝධී පිරිස් දඩයම් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බවය. එය බරපතළ වරදක් වන අතර ඊට වගකිවයුතු අය සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ගයක් ගැනීම රටේ පොදු යහපතට පමණක් නොව ආරක්ෂක හමුදාවල යහපතට සේම හමුදා බුද්ධි අංශයේ යහපතටද හේතුවන්නේය.

පසුගිය පාලන කාලයේ සිදුවූ බිහිසුණු අපරාධ පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ සිදුවෙමින් පවතින්නේම විවිධාකාරවලින් එල්ල කෙරෙන බාධා මධ්‍යයේය. නීතිපති දෙපාර්තමේන්තුවේ බලවතුන් පවා මෙම පරීක්ෂණවලට කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැත. සිදුවී තිබෙන බිහිසුණු අපරාධවලට අදාළ නඩු අසන විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම පවත්වාගෙන යන ප‍්‍රතිපත්තියද විවාදයට හේතුවී ඇත්තේය. තාජුඞීන් ඝාතනය පිළිබඳව සිදුවන අධිකරණ පරීක්ෂණය සැලකිය හැක්කේ රටේ ඇසෙන නඩු අතර තිබෙන මහජන වැදගත්කම අතින් ගත් කල ලොකුම නඩුව වශයෙනි. එම පරීක්ෂණය මෙහෙයවු විනිසුරුවරයා ඉතාමත් අපක්ෂපාත ලෙසත් නීතියට අනුකූල ලෙසත් එම පරීක්ෂණය මෙහෙයවු බව පෙනෙන්නට තිබුණි. එම නඩුවේ මූලික පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට පෙර එම විනිසුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙන අතර ඒ වෙනුවෙන් එම උසාවියට එන්නට නියමිත විනිසුරුවරිය පිළිබඳවද නීති අංශවල විවිධ කතාබහ පවතී. ඇය නීතිඥවරියක ලෙස සේවය කරන කාලයේදී වැඩ කර ඇත්තේ මොහාන් පීරිස් යටතේය. අධිකරණ සේවයට එකතුවී ඇත්තේද මොහාන් පීරිස්ගේ අනුග‍්‍රහය යටතේ ය.

නීතිඥයකු වශයෙන්ද, හිටපු නීතිපතිවරයකු වශයෙන් හා හිටපු අගවිනිසුරු වශයෙන් මොහාන් පීරිස්ට ඇත්තේ යහපත් ඉතිහාසයක් නොව අපකීර්තිමත් ඉතිහාසයකි. මොහාන් පීරිස් වැඩියෙන්ම සමීපව සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය. මොහාන් පීරිස්ට සමීප විනිසුරුවරයකු තාජුඩීන් නඩුව විභාග කරන තත්ත්වයක් ඇතිවුවහොත් එය එම නඩුවේ යහපතට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය. එක්නැළිගොඩ නඩුව වෙනුවෙන් පෙනීසිටින රජයේ නීතිඥයාද එම නඩුවෙන් ඉවත් කිරීම සඳහා බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද අසන්නට ලැබේ. එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලිප් පීරිස්ය. ඔහු තමන් වෙත පැවරී තිබුණු එම වගකීම ඉතාමත් ප‍්‍රශස්ත ලෙසත් නිර්භීත ලෙසත් ඉටු කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. පසුගිය නඩු විභාගය පැවති දිනයේදී ඒකාබද්ධ විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගෙන් උසාවි ශාලාව පිරී තිබුණු බව කියනු ලැබේ. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය ප‍්‍රකාශ වී ඇත්තේද එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සාහසික වරදට වගකිවයුතු පුද්ගලයන්ටය. එම මන්ත‍්‍රීවරුන් තමන්ගේ එක් මාසයක වැටුප මෙම නඩුවේ විත්තිකරුවන්ට ලබාදීමට තීරණය කර ඇති බවද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වාය. මෙම නඩුව පවත්වාගෙන යන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාවේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඕනෑ එපාකම් අනුව බවත් මේ සියලුදෙනාගේ අරමුණ හමුදාවේ බුද්ධි අංශය විනාශ කිරීම බවත් ඔහු එදින උසාවිය අමතා ප‍්‍රකාශ කර තිබේ. ඊට පිළිතුරු දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලිප් පීරිස් ප‍්‍රකාශ කර ඇත්තේ මොනම පුද්ගලයකුටවත් නීතියට පහළින් මිස නීතියට ඉහළින් සිටීමට ඉඩ දිය යුතු නැති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ලංකාවට බලපෑම් එල්ල කරන තත්ත්වයකට පැමිණියේ ලංකාවේ සිදුවී තිබෙන මෙවැනි සාහසික අපරාධ පිළිබඳව සොයා බලන ප‍්‍රතිපත්තියක් පසුගිය ආණ්ඩුව අනුගමනය නොකළ නිසා බවත්ය. පුද්ගලයකු අතුරුදන් කළ පුද්ගලයකුගේ තරාතිරම කුමක් වුවත් ඔහු සාහසික අපරාධයක් කළයුතු පුද්ගලයකු ලෙස සලකා නීතිය ක‍්‍රියාත්මක කළයුතු බවත්ය. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලිප් පීරිස් මෙම නඩුව සම්බන්ධයෙන් පවත්වාගෙන යන දැඩි ප‍්‍රතිපත්තිය නිසාම ඔහු මෙම සාහසික සිද්ධිය යටපත් කිරීමට උනන්දුවක් දක්වන බලවේගයන්ගේ උදහසට හේතුවී තිබෙන පුද්ගලයකු බවට පත්ව තිබෙන අතර දිලිප් පීරිස් මෙම නඩුවෙන් ඉවත් කරවා වෙනත් රජයේ නීතිඥයකු කරළියට ගැනීමේ බලවත් උත්සාහයක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවද අසන්නට ලැබේ. දිලිප් පීරිස් රජයේ නීිතිඥයකු වශයෙන් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන පුද්ගලයෙකි. චන්දන කත‍්‍රිආරච්චිගේ මිනීමැරුම් නඩුව පානදුර උසාවියේදී මෙහෙයවන ලද්දේ ඔහුය. හොර අලි නඩු මෙහෙයවන නීතිඥයා වන්නේද ඔහුය. ඔහු මේ නඩුවෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් කෙනකු පත්කරන තත්ත්වයක් ඇතිවුවහොත් මේ නඩුවට යන කලදසාවද අඳුරු විය හැකිය.

තාජුඩීන් ඝාතන සිද්ධිය රටක් වශයෙන් ලංකාවේ පැවති අශීලාචාර තත්ත්වය පිළිබිඹු කරන බලවත්ම සිද්ධිය ලෙස සැලකිය හැකිය. තාජුඩීන්, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැළිගොඩ හා රවිරාජ් මෙන් එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු නොවීය. ඔහුට එල්ටීටීඊ ලේබල් ඇලවීමේ හැකියාවක්ද නැත. ඔහු අහිංසක රගර් ක‍්‍රීඩකයෙක් පමණක් විය. ඔහුගේ පිළිස්සුණු මළ සිරුර සහිත මෝටර් රථය සොයාගන්නා ලද්දේ 2012 වසරේ මැයි 17 වැනි දින උදේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසල තිබියදී ය. ඔහුගේ මරණය පිළිබඳව කරන ලද පරීක්ෂණවල නිගමනය වුයේ එය රිය අනතුරකින් සිදුවූ මරණයක් වන බවය. එම මරණය ගැන විවිධ කටකතා තිබුණද පරීක්ෂණවලින් ප‍්‍රකාශිත නිගමනය කිසිවකුත් අභියෝගයට ලක් කළේ නැත. ආණ්ඩු බලය වෙනස්වීමත් සමග සියල්ල කනපිට පෙරලුණි. පොලිස්පතිගේ නියමයෙන් එම මරණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය. මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් නොවන බවත් මනුෂ්‍ය ඝාතනයක් බව පෙනෙන්නට තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය. තාජුඩීන්ගේ ජංගම දුරකතනයද නුවරඑළිය ආගරපතනින් සොයාගනු ලැබීය.

ඉන්පසු දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක්ද පැවැත්වීය. තාජුඞීන්ගේ වළලන ලද සිරුර යළි ගොඩගන්නට සිදුවිය. දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකරන ලද්දේ කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජින් පෙරේරා හා අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.පී. හේවගේ යන අය විසිනි. ඔවුන්ගේ නිගමනය මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර නිගමනයට මුළුමනින්ම වෙනස් විය. ආනන්ද සමරසේකරගේ නිගමනය වී තිබුණේ තාජුඞීන්ගේ මරණය කෙරෙහි බලපා තිබෙන ආසන්නතම හේතුව සිහිනැතිවීම, අවයව ක‍්‍රියාකාරීත්වය අඩපණවීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඞ් ආඝ‍්‍රාණය වීමය. එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයේ නිගමන ඊට මුළුමනින් වෙනස් විය. ඔවුන් පළකර තිබෙන නිගමන අතර එක් නිගමනයක් වනුයේ තාජුඞීන්ගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහු රිය පදවා නැති බවය. තාජුඞීන්ට පහරදීමෙන් දුර්වල කිරීමෙන් පසුව අනතුර සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර ඔහුගේ සිරුර වම් අසුනේ තබා අනතුර සිදුවීමට සලස්වා ඇති බවය. ඔහුගේ මරණය කකුල්වලට, බෙල්ලට හා පපුවට සිදුකර තිබෙන පහරදීම් නිසා ඇතිවූ තුවාල නිසා හා ගින්න නිසා සිදුවී තිබෙන බවය. ඔවුන්ගේ නිගමනය අනුව ගින්න සිදුවී තිබෙන්නේද මරණය සිදුවන්නට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබු කාලයේදීය. මරණකරුගේ කලව අස්ථියේ පහළ කොටසේ පහළින් තිරස්ව තිබෙන භග්නය රිය අනතුරින් සිදුවීමට පුළුවන්කමක් නැති බවත් එය මොට ආයුධයකින් පහරදීමක් නිසා ඇතිවී තිබෙන්නක් බවත් පපුවේ හා බෙල්ලේ තිබෙන තුවාලද පහරදීම් නිසා සිදුවුවක් බවත් ඔවුන්ගේ නිගමනය වී තිබේ.

තාජුඞීන්ගේ මරණය පිළිබඳව මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය හා පසු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය අහසට පොළොව මෙන් වෙනස් ය. මුල් පරීක්ෂණය අනුව තාජුඞීන්ගේ මරණය සිදුවී තිබෙන්නේ රිය අනතුරකිනි. දෙවැනි පරීක්ෂණය අනුව එය සියුම් ලෙස සැලසුම් කරන ලද මනුෂ්‍ය ඝාතනයකි. මුල් අධිකරණ වෛද්‍ය පර්යේෂණය කළ විශේෂඥ වෛද්‍ය සමරසේකර සටන්කාමී ඉතිහාසයක් ඇති පුද්ගලයෙකි. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දියත් කළ සටනේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ඒ සටන මෙහෙයවූ ප‍්‍රධාන සෙන්පතියෙකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකි. වර්තමානයේ මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයාය. ඔහු තමන්ගේ සමස්ත අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබෙන්නේ සිදුවී තිබුණු එම සාහසික සිද්ධිය වසන් කෙරෙන ආකාරයටය. මළ සිරුර යළි ගොඩගන්නා ලද අවස්ථාවේදී සිරුරේ කලවා අස්ථි දෙකද ඇතුළත් සමහර වැදගත් කොටස් අතුරුදන් වී තිබුණි. මේ ගැන ආනන්ද සමරසේකර කියන්නේ එම අස්ථි වෛද්‍ය හා විෂවේද ආයතනයේ ශීතකරණයේ තබන ලෙස තමන් උපදෙස් දුන් බවය. එහෙත් ඒවා ඔහු කියන ශීතකරණයේද නොතිබුණි. එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ මතය වී තිබෙන්නේ එම අස්ථි කොටස් ආරක්ෂා කිරීම පිණිස විධිමත් ලෙස ක‍්‍රියාකර ඇති බවක් නොපෙනෙන බවය.

අවසානයේදී අධිකරණයට මෙම අස්ථි කොටස් නැතිවූයේ කෙසේද යන ප‍්‍රශ්නය ගැනද සොයා බලා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට සිදුවිය. ඒ නිසා ආනන්ද සමරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ඔහුගෙන් ප‍්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය. එම කටඋත්තරය සටහන් කරගැනීම අවසන් කිරීමෙන් පසුව තමාගේ ප‍්‍රශ්නය මෙම කටඋත්තරයෙන් අවසන් වන්නේදැයි වෛද්‍ය ආනන්ද සමරසේකර කටඋත්තර ලබාගත් නිලධාරියාගෙන් අසා තිබේ. මෙම මරණ පරීක්ෂණයේදී බාහිර බලපෑම් ඇතිවීද යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය සමරසේකරගේ දුරකතන වාර්තාද පරීක්ෂා කිරීමට සිදුවන බව කටඋත්තරය ගත් නිලධාරියා දී තිබෙන පිළිතුර වී තිබේ. එම පිළිතුරත් සමග වෛද්‍යවරයාගේ මුහුණ මැළවී තමන්ට වැසිකිලිය තිබෙන තැන කියන්නැයි එම නිලධාරියාගෙන් ඉල්ලා තිබේ. වැසිකිලියට ගිය මෙම විශේෂඥ වෛද්‍යවරයා ආපසු පැමිණ ඇත්තේ ඇඳගෙන සිටි කලිසමේ මුත්‍රා පෙරාගෙනය.

පසුගිය ජනාධිපති වරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය නොවී නම් ලංකාව අපරාධකාරයන්ගේ රාජ්‍යයක් බවට පත්වන්නට ඉඩ තිබුණු බව ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අළලා ලියන ලද ලිපියක මා අවධාරණය කර තිබුණි. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිතාමතාම ඇති කරන ලද තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. 1977 විධායක ජනාධිපති ක‍්‍රමයේ ආණ්ඩු ක‍්‍රමයකට මාරුවීමෙන් පසුව ඒ නිසා හා ඉන්පසුව ඇතිවන මහා ලේ වැගිරීම් නිසාද ශ‍්‍රී ලංකා රාජ්‍යය එම දිසාවට ක‍්‍රමානුකූලව තල්ලූවෙමින් තිබුණි. මුලදී ශිෂ්‍ය සටන් හා වෘත්තීය සමිති සටන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව අපරාධකාරයන්ගේ සහාය ලබාගත්තේය. ඉන්පසුව ඇතිවූ ප‍්‍රචණ්ඩ ව්‍යාපාර මර්දනය කිරීම සඳහාත්, මන්ත‍්‍රීවරුන්ට එල්ල වී තිබුණු ජීවිත තර්ජනවලින් ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහාත් අපරාධකාරයන්ගේ සහාය ලබාගත්තේය. මන්ත‍්‍රීවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පුද්ගලික හමුදා ඇතිකර ගනිමින් ඒවා පවත්වාගෙන යෑමට ආණ්ඩුව අනුබල දුන්නේය.

එසේ මන්ත‍්‍රීවරුන් විසින් ඇතිකර ගන්නා ලද පුද්ගලික හමුදාවලට එකතු වූයේ ප‍්‍රදේශයේ නමගිය අපරාධකාරයන්ය. මන්ත‍්‍රීවරුන් එසේ ඇතිකර ගන්නා ලද පුද්ගලික හමුදාවල සාමාජිකයන්ට හමුදාව ලවා ආයුධ පරිහරණය පිළිබඳ පුහුණුවක් දී ඔවුන්ට අවශ්‍ය ගිනි අවිද ලබා දුන්නේය. මෙසේ පුද්ගලික හමුදාවලට එකතු වූ අපරාධකරුවෝ මන්ත‍්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙනවාට අතිරේකව නීතිය කෙරෙහි බියක් ඇතිකර ගැනීමෙන් තොරව තමන්ට හුරුපුරුදු අපරාධකාරී ක‍්‍රියාවලද යෙදුනෝය. එමගින් රටේ දේශපාලකයන් හා අපරාධකරුවන් කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිවිය. ඒ සමග මන්ත‍්‍රීවරුන් සමග කල්ලි ගැසී සිටින අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයකට මුහුණදීමට පොලිසියට සිදුවිය. එම තත්ත්වය ඉදිරියේ පොලිසියද එම අපරාධකරුවන් සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයකට පත්විය. එම තත්ත්වය රටේ නීතියේ පාලනයක් නැති තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. එම වටාපිටාව අපරාධකරුවන් පමණක් නොව සමහර දේශපාලකයන්ද සමහර පොලිස් නිලධාරීන් හා සමහර ආරක්ෂක හමුදා සාමාජිකයන්ද බිහිසුණු අපරාධවල යෙදෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය.

අපරාධකරුවන් පමණක් නොව සමහර පොලිස් හා ආරක්ෂක හමුදා නිලධාරීහුද තමන් දන්නා හඳුනන දේශපාලන බලවතුන්ගේ වුවමනාවන් සඳහා මිනිසුන් ඝාතනය කළේය. එය මෙම අශීලාචාර කාලයේදී හැම පාලන කාලයක් තුළම අඩු වැඩි වශයෙන් සිදුවූ දෙයක් ලෙස සැලකිය හැකිය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ අවසානය වනවිට එය උපරිම මට්ටමකට දුරදිග ගිය දෙයක් බවට පත්ව තිබුණේය. රවිරාජ් ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, එක්නැළිගොඩ අතුරුදන් කිරීම, ලලිත්-කූගන් යන තරුණයන් දෙදෙනා අතුරුදන් කිරීම, තාජුඩීන් ඝාතනය දේශපාලන පසුබිමක් ඇති දේශපාලනඥයන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් දේශපාලන බලවතුන්ට සමීප පොලිස් හෝ ආරක්ෂක හමුදා සාමාජිකයන් විසින් සිදුකරන ලද ඝාතන ලෙස සැලකිය හැකිය. මහින්ද රාජපක්ෂ පාලන කාලය වනවිට මේ තත්ත්වය කොතරම් දුර දිග ගිය තත්ත්වයකට පත්ව තිබුණේද කියන්නේ නම් පළමු පෙළේ බලවත් දේශපාලනඥයන් පමණක් නොව ප‍්‍රාදේශීය සභා මට්ටමේ දේශපාලනඥයන්ද සාහසික අපරාධවල යෙදෙන තත්ත්වයක් ගොඩනැගී තිබුණි. නූරීවලදී වතු පාලකයකු ඝාතනය කිරීමේ සිද්ධිය, තංගල්ලේදී විදේශීය සංචාරයකුගේ පෙම්වතිය දූෂණය කොට එම සංචාරකයා ඝාතනය කිරීමේ සිද්ධිය ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන දෙකක් පමණය. නූරි සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ලබාගත හැකිවුයේ ඝාතනයට ලක්වූ වතු පාලකයාගේ සමීපතමයකුට ආරක්ෂක ලේකම්වරයා සමඟ සම්බන්ධයක් තිබීම නිසාය. තංගල්ලේ සංචාරකයා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයකට යන්නට හේතුවුයේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම් නිසාය. මෙම අශීලාචාර කාලයේදී සමහර උසස් පොලිස් නිලධාරීන් සේ ම සමහර උසස් හමුදා නිලධාරීහුද කප්පම් ලබාගැනීම සඳහා මිනිසුන් පැහැර ගත්තෝය. ලොකු මුදල් සඳහා මිනිසුන් ඝාතනය කළෝය. අතුරුදන් කළෝය.

මෙම අවලස්සන තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යායුතු තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම අශීලාචාර තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම් එම අශීලාචාර කාලවකවානුව තුළ සිදුවී තිබෙන සාහසික අපරාධ ගැන සොයා බලන තැනකට යායුතුය. එවැනි අපරාධවලට වගකියුතු සියලුදෙනාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතුය. රට ශීලාචාර තැනකට ගතහැකිවනු ඇත්තේ එවිටය.

මූලාශ්‍රය රාවය/ ඡායාරූපය රුවන් මීගම්මන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com