අමරදේව නැවත කියවීම -කපිල එම්. ගමගේ

Feb 11, 2016
amaradewa

​ෂෝපන්හවර් පවසන්නේ සංගීතය වු කලී සමස්ත විශ්වයේම තනුවක් බවයි. එමනිසා සංගීතය මුළුමහත් විශ්වයේම විවිධ නාද රටාවන්ගේ එකමුතුවක් ලෙස සැලකීම සර්ව සාධාරණ වේ. ලෝකයේ මහා සංස්කෘතික සම්ප‍්‍රදායන් තුළ සංගීතය නම් වු කලාව ගැන ඇත්තේ වෙනම කියවීමකි.​ ​බොහෝ සංස්කෘතීන් සංගීතය කියවන්නේ නාද හා නින්නාද ස්වර රටාවන් තුළින් මිස සාහිත්‍යය තුළින් නොවේ. මොසාට්, බෙතෝවන්, බාක්නර් යනාදී යුරෝපියානු සංගීතඥයන්ගේ දැවැන්ත නිර්මාණ එය තේරුම් ගැනීමට අවශ්‍ය උදාහරණයන් පමණටත් වඩා සපයා දෙයි. නමුත් සංගීතය පිළිබඳ සිංහල සමාජයීය කතිකාවේදී අප එයට සිංහල සංගීතය කියා වහරන්නේම එහි ඇති ගැඹුරු අරුතක් ගැන නොසොයාමය. සිංහල සංගීතය යන්න හුදු වාච්‍යාර්ථයක් ලෙසින් පමණක් ගැනීමට සිදුවන්නේ එක්කෝ එය බහුල වශයෙන් උත්තර භාරත සංගීතයේ හෝ යම් පමණකට බටහිර සංගීතයේ හෝ ලාංකේය භාවිතාවක් ලෙස දකින්නට තිබෙන නිසාය.

ශ‍්‍රී ලංකාව නම් වු කොදෙව්වේ භූ විද්‍යාත්මක පිහිටීම හා මහා රාජ්‍යයක් තුළ ජනිත දැවැන්ත සංස්කෘතියක අනවරත තෙරපීම අපගේ සෑම සංස්කෘතික අංගයක් කෙරෙහිම ප‍්‍රබල බලපෑමක් එල්ල කර තිබේ. එය සමාජ අර්ථයෙන් පමණක් නොව ආර්ථික හා දේශපාලන අර්ථයෙන්ද ප‍්‍රබල කාරණයකි. එම නිසා ශ‍්‍රී ලාංකික මිනිසාගේ සංස්කෘතික ජීවිතය නිරන්තරව පෝෂණය වී ඇත්තේ යාබද මහා සංස්කෘතියෙන් යැයි පැවසීම එරෙහිවාදීව සඟවා නොතැබිය යුත්තකි. කෑම බීම, ඇඳුම පැලඳුම, කලා භාවිතාව පමණක් නොව සිතීම පවා හැඩගැසී ඇත්තේ ඒ ඔස්සේය. මේ නිසා පොදු ජන විඥානයේ අද සටහන්ව ඇත්තේ උත්තර භාරතීය සංගීතයේ ශ‍්‍රී ලාංකික අනුවාදයකි.​ මීට අමතරව කිසියම් සංගීතඥයන් කුලකයක් ලාංකීය ජන සංගීත මූලාශ‍්‍ර ඇසුරු කරගෙන ශුද්ධ සිංහල සංගීතයක් පිළිබඳව සොයන්නට ගත් උත්සාහයන් කිහිපයක් ද හමුවේ. නමුත් එය ප‍්‍රභාමත්ව මතු නොවන්නේ ඉන්දීය උත්තර භාරතීය සංගීතය මහා සංස්කෘතියක් වී සද්ධන්තව අප අසලින්ම නැගී සිටින නිසාය. වර්තමානය මෙයටත් වඩා වෙනස්ය. අද ලාංකේය කලාවට වැඩි බලපෑමක් සිදු කරන්නේ බටහිර කලා සම්ප‍්‍රදායන්ය. ලොව ජාතික රාජ්‍යයන් හුදු සංකල්පයක් බවට පත් කරමින් ඒවායේ භූගෝලීය සීමාවන් මකා දමන බටහිර දියුණු ධනේශ්වර රාජ්‍ය කිහිපයක් සිය අභිමතය පරිදි ගොඩනගා ගෙන ඇති ගෝලීයකරණය නම් වු නව ලිබරල්වාදී යාන්ත‍්‍රණය සකල විධ ජාතික කලාවන් සුන්නත්දූලි බවට පත් කර තිබේ. නමුත් ආචාර්ය කේමදාස වැන්නෙක් මේ සියලු සංගීත සම්ප‍්‍රදායන්ගේ මුසුවක් භාවිත කරමින් උත්තර භාරතීය සංගීත සම්ප‍්‍රදාය හා බටහිර සංගීත සම්ප‍්‍රදාය අතික‍්‍රමණය කරන්නට හුදෙකලා සටනක නියුක්ත වීම ද නොසලකා හැරිය යුතු නොවේ.

නමුත් දිගු කාලයක් පුරා ශ‍්‍රී ලාංකේය භාවිත සංගීතය ඉදිරියට රැගෙන ආ කැපී පෙනෙන සංගීතඥයන් අතර පණ්ඩිත් අමරදේවයන් සුවිශේෂ වන්නේ ඉන්දීය උත්තර භාරතීය සංගීතය ශාස්ත‍්‍රීය තලයක තබා ශ‍්‍රී ලාංකික සන්දර්භය තුළ භාවිත කළ කෙනෙක් ලෙසිනි. අමරදේව හැදී වැඩෙන්නේම ප‍්‍රධාන සංස්කෘතික ප‍්‍රවාහයන් දෙකකට මැදිවය. එක් පසෙකින් පිය පාර්ශ්වයේ සිංහල බෞද්ධ සංස්කෘතියත් අනෙක් පසින් මව් පාර්ශ්වයේ සිංහල කතෝලික සංස්කෘතියත් ඇසුරේ ඔහු පෝෂණය විය. සංගීතය පිළිබඳ නිසර්ඝ සිද්ධි ප‍්‍රතිභාව හැදෑරීමක් දක්වා යොමු වන්නේම පවුලේ සාමාජිකයන්ගේ බලපෑමෙනි. එසේම එවකට ප‍්‍රකට මතවාදයක්ව පැවති හෙළ බස හෙළයෙන්ම නිවැරැදිව වැහැරීම සඳහා අවශ්‍ය පරිචය ඔහු ලබා ගන්නේ පාසල් පරිසරය තුළිනි. පාසල් අධ්‍යාපනය ලබන අතරතුරේම ඔහු සතු වු ගායන හා වාදන හැකියාවන් නිසා චිත‍්‍රපට කර්මාන්තයට යොමු වේ. මේ නිසා කිසියම් ආකාරයක වාණිජ නැඹුරුවක් ඔහුගේ මුල් අවධියේ දී ඇති වුණා යැයි සිතිය හැකිය. නමුත් එය එතරම් ප‍්‍රබල ලෙස බලපෑමක් ඇති නොකරන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසු ඉන්දියාවේ භාත්ඛණ්ඩ සරසවියට වැදී උත්තර භාරතීය රාගධාරී සංගීතය හැදෑරීමෙන් සංගීතය පිළිබඳ සිය න්‍යායාත්මක දැනුම යම් සංගීත ආරක් ඔස්සේ වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවෙන බැවිනි.

මහාචාර්ය සරච්චන්ද්‍ර පවසන්නේ ඔහුට රාගධාරී සංගීතය පිළිබඳව මෙන්ම ලාංකේය ජන සංගීතය ගැන ද දැනුමක් තිබු බවයි. මා විසින් රචිත වෙස්සන්තර නම් නාටකයේ උදාන ගීතවලටත් නාඩගම් රීතිය ඇසුරෙන් රචිත ලෝමහංස නාටකයටත් තනු සැපයූවේ ඔහුය. අමරදේවගේ විශිෂ්ට නිර්මාණ තිබෙන්නේ මේ නාට්‍ය දෙකෙහිය. ඒ හැම තනුවක්ම අවස්ථාවට උචිත රාගයක් ඇසුරෙන් රචනා කර ඇති බව කිවහැකිය. ඇතැම් විට ඔහු රාග කිහිපයක් ඇසුරු කර ගනී. එහෙත් ඔහු රාග ක‍්‍රමයට වහල් නොවීය. යැයි සරච්චන්ද්‍ර‍යන් පවසයි. අමරදේව රාගධාරී සංගීතය හදාරා ලංකාවට පැමිණෙන සමය වන විට ලංකා සමාජය තුළ සංගීතය පිළිබඳ අලුත් කතිකාවක් ගොඩනැගී තිබුණි. ඒ නිදහසින් පසු මුල් අවධිය බැවින් ශ‍්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත සංගීත විධික‍්‍රමයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පිළිබඳව විද්වතුන්, සංගීතඥයන් හා පොදු ජනතාව අතර සංවාදයක් ඇති වී තිබුණි. මේ නිසා තමන් දැන උගත් ඉන්දියානු රාගධාරී සංගීතයත් ලාංකේය ජන සංගීතයත් මුසුකොටගත් සංගීත ආරක් ගොඩනගා ගැනීමට අමරදේව උත්සාහ ගෙන ඇත. ඇතැම් තැනෙක එය සාර්ථක භාවයක් පෙන්නුම් කළ ද එය තිරසාර ලෙස මේ මහ පොළොවේ මුල් ඇදි බවක් නම් දකින්නට නොලැබේ. ඔහුගේ ද වැඩි නැමියාව තිබුණේ ඉන්දියානු සංගීතය කෙරෙහිය. උත්තර භාරතීය රාගධාරී සංගීතය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කළ අමරදේව දක්ෂිණ භාරතීය සංගීතය හා විශේෂයෙන්ම ද්‍රවිඩ සංගීතය පිළිබඳ පර්යේෂණ කළ බව ද සඳහන් වේ. තැනෙක ඔහු සංගීතය පිළිබඳ පුළුල් දැක්මක් ඇති සංගීතඥයකු බව ඔහුගේ මතයකින්ම මතු වී පෙනේ.

සංගීතයේ මූලික නිර්මාණ රීතිය වූ කලී එකම ස්වර සංගති සමුදායක් පුනාරාවර්තනය කිරීම හා එම පුනරාවර්තන ක‍්‍රියාවලියේ දී නව්‍ය ස්වර බැඳුම්ද ඒ හා මුසු කිරීමයි. පුනරාවර්තන ලීලය කිසියම් ප‍්‍රස්තූතයක් මනසේ ඒ හා දැඩිව රඳවන්නේය. එකිනෙකට වෙනස් වු විවිධ නාද රටා ජීවිතයට නවතාව එකතු කරයි. ඒකරූපතා බිඳ ජීවන ධාරිතාව පුළුල් කරයි. නමුත් අවසාන වශයෙන් ඔහුගේ අතින් නිර්මාණය වුයේද සරල ගීත, චිත‍්‍රපට සංගීතය, නාට්‍ය සංගීතය යනාදී ප‍්‍රායෝගික සංගීත නිර්මාණයන් පමණි. එය ලාංකික රසික සමූහයාගේ සංගීත විඳීම් ස්වරූපය නිසා සිදුවුවකැයි සාධාරණීකරණය කළ හැකි වුවද ශ‍්‍රී ලාංකික සංගීත ක්ෂේත‍්‍රයේ ඉන් එහා ගිය සංධ්වනි වැනි සංගීතමය උත්සාහ ඇත්තේ අතළොස්සක් පමණි. සිංහල සංගීතය පිළිබඳ ඔහු දැරූවේ මෙබඳු මතයකි:​ බොහෝ විට සිංහල වු අප අතර කෙරෙන සංවාදයන්හි දී සිංහල සංගීතය පදනම් විය යුත්තේ කවර සම්ප‍්‍රදායක් මතද අපටම ආවේණික සම්ප‍්‍රදායක් තිබේද එවැන්නක් අවශ්‍යද එසේ නම් ඒ කුමක් විය යුතුද ආදී ප‍්‍රශ්න රැසක් පැනනගින බව පෙනී යයි. මේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්නට මා උත්සාහ කරන්නේ හුදෙක් නිර්මාණශීලී ප‍්‍රායෝගික සංගීතවේදියකු වශයෙන් මා ලද අත්දැකීම් තුළින්ම බව අවධාරණය කරනු රිසියෙමි.

අමරදේව හා මහගම සේකර එකතුව සිංහල ගීත ක්ෂේත‍්‍රයට නව ආරක් එකතු කළා සේම එය ගුවන් විදුලි ගීතය නව ඉසව්වකට රැගෙන යාමට සමත් විය. විශේෂයෙන් මේ දෙදෙනාගේ එකතුවෙන් නිර්මාණය වු මධුවන්ති ගීත වැඩසටහන තුළ දැකිය හැකි වූ විශේෂතාව වූයේ සේකර සතු වූ ගැමි අන්තර්ඥානය හා ජන ගී පරිශීලනය සරල ගීතයට රැගෙන ඒමයි. යම් පමණකට වු මේ දේශජ ලක්ෂණ සරල ගීතය පොදු ජනතාව අතරට රැගෙන යාමට අපූරු වාහකයක් බවට පත් විය. ගීතය ගැන මතයක් පළ කරන අමරදේවයන්ම පවසන්නේ
​ මෙසේය:​ සංගීතයේ උපත කෙරෙහි භාෂාවේ බලපෑම කොහෙත්ම පිටු දැකිය නොහැකි කාරණයක් ලෙස මතු වෙයි. සංගීතය ගේය හෙවත් ගායනය හා වාද්‍ය යනුවෙන් බෙදී යයි. මෙයින් ගායනයම මුල් තන්හි ලා සැලකීම සර්ව සාධාරණ බව පෙනී යයි. යනුවෙනි. සංස්කෘතියක් ගොඩනැගෙන්නේ භාෂාව පාදක කරගෙන බව බොහෝ මානව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. මේ නිසා ලොව ප‍්‍රබල සංස්කෘති ගොඩනැගී එම සංස්කෘතීන්හි ප‍්‍රකාශිත මුහුණුවර වන කලා නිර්මාණ හරහාද මෙම භාෂාවේ ප‍්‍රබලකම ප‍්‍රකාශයට පත්වේ. දැවැන්ත සංස්කෘතියක් හා විශිෂ්ට කලා සම්ප‍්‍රදායකට උරුමකම් කියන ඉතාලියානුවන් සිය භාෂාව ගීතමය භාෂාව ලෙස නම් කරන්නේ මේ හේතුවෙනි. මේ නිසා අමරදේව ද පවසන්නේ සිංහල භාෂාවත් එහි කලාත්මක ප‍්‍රකාශනයන් වන ජනශ‍්‍රැතියත් සිය සංගීත නිර්මාණ සඳහා ප‍්‍රබල ලෙස භාවිත වු බවයි. මේ බව සේකර සහ ඔහු එකතුව කරන ලද බොහෝ නිර්මාණ හරහා වහනය වේ.

පිරිපුන් අඟ පසඟින් හා ඊට සරිලන ඇඳුම් ආයිත්තමින් සැදී ගත් සුරූපී සුකුමාර කණක ලලනාවක බඳු වූ ජන කවියෙන් මම ජීවය ලබමි. මගෙ සංගීත සංකල්පනයන් අවුස්සා විචිත‍්‍ර රේඛා ඔස්සේ විහිදුවාලමින් වර්ණවත් ගීත රූපකයන් මවා ගැනීමට තරම් ප‍්‍රමාණවත් ආවේශයක් ඉන් ලබා ගන්නට මම පුරුදු වී සිටිමි. සංගීතය හා ගීතය ගැන මෙන්ම ඒ ඒ සංගීත භාණ්ඩ පිළිබඳව ද අමරදේව සතු වුයේ පුළුල් දැනුමකි. විවිධ සම්ප‍්‍රදායන් ඇසුරු කරමින් ඒ පිළිබඳ හැදෑරීමක් සහිතව වුව ද ඔහුටද සිදු වුයේ මේ කුඩා දූපත ඇතුළෙහි චූල සම්ප‍්‍රදායේ ව්‍යවහාරික සංගීත නිර්මාණ පමණක් කිරීමටය. මේ අතර මුද්‍රා නාට්‍ය (කරදිය, නල දමයන්ති යනාදී) චිත‍්‍රපට (රන් මුතු දූව, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගැටවරයෝ, රෑන ගිරව්, තුන් මංහන්දිය ආදී) කලා නිර්මාණ සඳහා ඔහු කළ සංගීතමය දායකත්වය ඉහළ අගයක් ගනී. ගීතය බහුජන කලා මාධ්‍යයක් වුවද අමරදේව ඒ තුළ වෙනම රසික සමාජයක් ගොඩනගා ගැනීමට සමත් විය. නමුත් සංගීතය කර්මාන්තයක් බවට පත් වී ලෝකයේ වෙනස් සංස්කෘතීන් හා ඒවායේ සීමාවන් මැකී යන නූතන ධනවාදී ගෝලීයකරණය තුළ අමරදේව නිශේධනය වී බටහිර ව්‍යවහාරික සංගීත නිර්මාණයක් අනුදත් ගායක ගායිකාවන් බලය අල්ලා ගැනීම පිළිබඳව පුර්ව කියවීමක් ඔහු සතු විනිදැයි සැක සහිතය. සිය ක්ෂේත‍්‍රයට නව ආරක සංගීත රටාවන් හා ගීත ආකෘති රැගෙන ගායක ගායිකාවන් පැමිණීම උපේක්ෂා සහගතව ඉවසා සිටියා විනා ඒවාට පෙරළා තරගකාරීත්වයක් ලබා දීමට ඔහු සූදානම් නොවුයේ වෙළෙඳපොළ තරගය ඔහුට අවිෂය වු නිසා බව වැටහේ.

නමුත් අමරදේවයන් සතු වු විශිෂ්ට ගුණය වුයේ මෙසේ තමන්ට අභියෝගයක් ලෙසින් පැමිණෙන නව පරම්පරාව දෙසද සාධනීය ලෙස බැලීමයි. විටෙක ඔහු රූකාන්ත ගුණතිලක සම ජනප‍්‍රිය සංස්කෘතියේ සංකේතයක් ගායකයකු ලෙසින් ඉහළින් අගය කරමින් ඔහුගේ සංගීත ඥානය හා ගායන කෞශල්‍යය පිළිබඳ සිය ප‍්‍රසාදය පළ කළේය. තවත් විටක නවක ගායන ශිල්පිනියක වන උමාරියා සමඟ යුග ගීයක් ගායනා කළේය. ඔහුට නවක සංගීත නිර්මාණකරුවන් පිළිබඳ සැක සංකාවක් නොවීය. බොහෝ නවක සංගීත නිර්මාණකරුවන්ගේ ගී තනු හා සංගීත රචනා ද පද රචනා ද ගැයීමට ඉදිරිපත් වීමෙන්ම ඒ බව සනාථ වේ. අපගේ රටෙහි සංගීත හා ගීත ක්ෂේත‍්‍රයට අමරදේව දායකත්වය සාධනීය වුවද ලංකා සමාජය ඔහු නිසි ලෙස කළමනාකරණය කරගත්තාද යන සැකයක් පහළ වේ. එයට හේතුව ඔහුගේ විභවතා ඔහුගේ මෙතෙක් දායකත්වයට වඩා වැඩි අගයක් ගන්නා බව වැටහෙන නිසාය. ඔහුටද ඔහු ගැන නිසි කළමනාකරණයක් නොතිබුණේය. කළමනාකරණය සඳහා ඉදිරිපත් වු අයට තිබූ අවම සමාජ, දේශපාලන වටහා ගැනීම් නිසා එළියට පැමිණිය යුතුව තිබු ඔහුගේ විභවතා ඉබිකටුව තුළට ආපසු රිංගා ගියාදැයි සැක සිතේ. කලාකරුවකු සිය කලා භාවිතය සඳහා ඇති දේශපාලන පරිසරය හෙවත් භූ දේශපාලනය මැනවින් තේරුම්ගත යුතු වේ. එසේ තේරුම් නොගන්නාතාක් කල් ඔහුගේ නිර්මාණයන් සමාජයීය වශයෙන් ස්ථානගත වන ආකාරය හා තෙවන පාර්ශ්වයක් විසින් එය භාවිත කරන ආකාරය ගැටලු සහගත වෙනවා පමණක් නොව ඒවා සමාජයට කරන ධනාත්මක බලපෑමද සැක සහිත වේ. ගෝලීය නව හැඩගැසීම් හා ඒවාට ප‍්‍රතිවිරුද්ධව කටයුතු කිරීමේ කුසලතාවද නිර්මාණය වන්නේ නව දේශපාලන කියවීමක් සහිත කෙනකු තුළ පමණි. එසේ නොවන්නේ නම් ඔවුන් විවිධ සමාජ, දේශපාලන, ආර්ථික රැලි ඔස්සේ නිසි ඉලක්කයක් නොමැතිව ගසා යන දර්ශනීය සරුංගල් වර්ගයක් පමණක් බවට පත් වී විනාශ වී යනු ඇත. පණ්ඩිත් අමරදේවයන්ගේ කලා භාවිතාව ඇසුරෙන් අපට තේරුම්ගත හැකි යථාර්ථය වන්නේද එයම පමණි.​​

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com