ආදරයෙන් මත් වු තිදෙනෙක්

Jan 12, 2016
love

චිත්‍රපටයක් දෙස සිංහල බෞද්ධ සංස්කෘතික ඇසින් සහ මනසින් නැරඹීමට පටන් ගතහොත් ප්‍රංශ චිත්‍රපටයක් වන ලව් චිත්‍රපටය නැරඹීමේ යම් සීමාවකට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. නමුත් කලාත්මක සහ නිර්මාණාත්ම චින්තනයකින් නැරඹුවහොත් ඔබට ජීවිතයේ අතිරික්ත පුරුද්දක් සහ ප්‍රේමයක් අතර අන්තිමට ඉතිරිවෙන වේදනාන්තයක් තේරුම් ගන්න පුළුවන් වෙනවා.

ලව් චිත්‍රපටය රචනා කරමින් අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ගැස්පර් නෝයි විසිනි. චිත්‍රපටය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඇමරිකාවේ ඉඳන් ප්‍රංශයේ සිනමා පාසලකට ඉගෙන ගන්න එන ඇමරිකානු තරුණයෙක් වටා. ඔහු මර්ෆි. චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මර්ෆිගේ ආදරය ප්‍රංශය තුල අතු ඉති විහිදන අතීතයක් එක්ක. එම අතීතය මර්ෆි වටා යළිත් කරකැවෙන්න පටන් ගන්නේ ඔහුට ප්‍රංශයේදී මුණගැසුණු ඉලෙක්ට්‍රාගේ මව වන නෝරා ඔහුට ඇයගේ දියණිය කරදරයට පත්ව ඇති බව පැවසීමත් එක්කයි. ඒ වනවිටත් මර්ෆි ස්වාමි පුරුෂයෙක්. දරුවෙක් සහ බිරිඳක් සිටින නමුත් ඉලෙක්ට්‍රා පිළිබඳව නැවත පූර්ව අපර සන්ධි ගළපමින් මතකයන් මර්ෆි කරා එනවා.

ඒ අතීතය ලව් චිත්‍රපටය පුරාම ඇතිරිලා තියනවා. චිත්‍රපටයෙදී මර්ෆි තමන්ගේ සිනමා සිහිනය ගැන සඳහන් කිරීමේදී පවසන්නේ තමන්ට අවශ්‍ය ආදරය ගැන චිත්‍රපටයක් නිපදවන්න කියලා. ඔහු අහනවා ආදරය කියන්නේ මොකක්ද කියලා. ඉන් පසුව මර්ෆි සිය ප්‍රංශය යුවතිය ඉලෙක්ට්‍රා සමඟින් ප්‍රේම සල්ලාපයට එහා ගිය යහන් සබඳතාවයකට යොමු වෙනවා. මර්ෆි සහ ඉලෙක්ට්‍රාගේ ලිංගික සබඳතාවයට ඔමි නම් වු යුවතියක් තුන්වන පාර්ශවයක් ලෙස එකතුවෙනවා. එක් අවස්ථාවකදී ඔමි ගැබ් ගන්නවා. මෙම සියලු සිදුවීම් ගැට ගැසෙන්නේ මර්ෆිගේ සිතුවිලි ඉලෙක්ට්‍රා කෙරෙහි ලිංගික ඊර්ෂ්‍යාවක් ඇති කරවමින් ය. ඔහු කොතරම් විවෘත සංස්කෘතියක් තිබෙනවායි කියන ඇමරිකාවෙන් පැමිණියා යැයි කියුවත් ඇත්තටම ඔහු ඉලෙක්ට්‍රාගෙ සැහැල්ලු නිදහස් ජීවිතයේ තටු අකුලවන්න උත්සහ ගන්නවා. එම නිසාම මර්ෆි ආත්මාර්ථකාමය ඇතුලේ හිරවෙලා විඳවනවා. ඔහු අනෙක් අය සමඟ ඉලෙක්ට්‍රාගේ අයිතිකාරකම මතු කරමින් පටලැවෙනවා.

චිත්‍රපටයේ එක් තැනක පෙන්වන සාදයකදී මර්ෆි සහ ඉලෙක්ට්‍රාට මුණගැහෙන යුවතියකට මර්ෆිගේ ආදරය පිළිබඳව චිත්‍රපට සිහිනය කියනවා. ඇය එවිට එහි රඟපාන්න එන බවත් පසුව අඳුරු මුල්ලකට රැගෙන ගොස් ඊට ඇයට තිබෙන නිපුනත්වයත් ඔප්පු කරනවා. ඉන් සිදුවන්නේ ඉලෙක්ට්‍රාගේ ලිංගික ඊර්ෂ්‍යාව ඉස්මතු වීමයි. මර්ෆි සහ ඉලෙක්ට්‍රා එකිනෙකා කෙරෙහි තිබෙන ආදරය පරයමින් ශරීර අයිතිකාරකම් හරහා ජීවිතය ගොඩනගනවා. මේ අතර ඉලෙක්ට්‍රාගේ මව මර්ෆිගෙන් අහන්නේ ඉලෙක්ට්‍රා තවමත් මත්කුඩු වලට ඇබ්බැහි වී ඇතිද කියලයි. ඒ වනවිට මර්ෆි පවා එයට යොමුවෙලයි ඉන්නේ. තමන් නොදන්නා පරිසරයක් තුළ ගොඩනගා ගන්නා සබඳකම් තම‍න්ගේ ජීවිතය කොතරම් ගොදුරු කර ගන්නවාද යන්න මෙම චිත්‍රපටයේදී මර්ෆි හරහා අපට කියවගන්න පුළුවන්.

මර්ෆිගේ අයිතිකාරකමේ ඊර්ෂ්‍යාවට ප්‍රංශයේ එක්තරා තැනක තිබෙන සමාජ ශාලාවක මේසයකදී උත්තරයක් ලැබෙනවා. ඔවුන් කියන්නේ ඇමරිකානුවන් තරම් නරක මනසක් ප්‍රංශකාරයින්ට නැති බවයි. ඔවුන් හැමවිටම ජීවිතයට විවෘත බවයි. (නමුත් ඒ ගැන අප හිතා බැලිය යුත්තේ රටක සංස්කෘතික වටපිටාවක් සමගයි) කොහොමත් ලව් චිත්‍රපටය පුරාම දැක ගත හැකි වන්නේ වඩාත් ආශාවට ආශක්ත වීම අර්බුදයට ඇද වැටෙන බවයි. සමහර විට එය අතිශය වේදනාවක්. අපේ රටේ අත්දැකීමෙන් බැලුවොත් ගොළු හදවතේ සුගත් දම්මිගේ ප්‍රේමය වෙනුවෙන් වැලපිනි. කසුන් සුදු නංගීගේ ප්‍රේමය වෙනුවෙන් වැලපිනි. ඒවා දකුණු ආසියාතික ප්‍රේමයේ රාමුය. නමුත් ප්‍රංශයේදී ඇමරිකානුවාගේ ප්‍රේමය ඊට හාත්පසින්ම වෙනස්ය. කැලඹිලිකාරිය. ප්‍රචණ්ඩත්වය මුසු උද්වේගකරය. ඒ සියල්ලෙම මුල කේන්ද්‍රය වන්නේ මර්ෆිගේ හදවතේ ඉලෙක්ට්‍රා වෙනුවෙන් තිබෙන යහන් ගතවීමෙන් ඔබ්බට ගිය ගැලවිය නොහැකි ආදරයම ය.

එම නිසාම ඔවුන් එක් අවස්ථාවක සියල්ල විසඳීමට නම් කුමන මොහොතක හෝ ජීවිතය අත්හැර දැමීමේ තැනට යා යුතු බවට සපථ කර ගත්තේ. එය නම් සාම්ප්‍රදායික පෙම්වතුන්ගේ හැඟීමක් බඳුය. කෙසේ වුවත් මා මුලින් ලියූ ලෙස ලව් චිත්‍රපටය සංස්කෘතික මනසකින් ඔබ්බට ගොස් සැහැල්ලු මනසකින් නරඹන්න. එවිට චිත්‍රපටය තුළ තිබෙන ජීවිත කියවීම ඔබට අහුවෙනු ඇත. මර්ෆි සහ ඉලෙක්ට්‍රා මුණ ගැසුනු තැනකදී මර්ෆි ඇමරිකානුවෙකුගේ ඇසින් ප්‍රංශය ගැන ඉලෙක්ට්‍රාට පවසන්නේ ප්‍රංශය කියන්නේ අනතුරුදායක තැනක් කියාය. ඒ අනතුරුදායක තැන සිටින කවුරුත් ඒ අනතුරට ගොදුරු වී දැයි චිත්‍රපටය අවසානයේ ඔබට වැටහී යනු ඇත.

මූලාශ්‍රය දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com