ආපදා අවධානමට පෙර සූදානම

Jun 12, 2016
flood 2016

​මහා ව්‍යසනයක් කර ගලා ආ ගංවතුර බැසයන පරක්කුවෙන් යළිත් එම තර්ජනයන්ම ඇති වෙන ලකුණු පහළවෙමින් තිබේ. විශේෂයෙන්ම නිරිතදිග මෝසම සක‍්‍රිය වීමත් සමගම ගිය වතාවේ බරපතළ තර්ජනයන්ට මුහුණ නොදුන් කළුතර සහ රත්නපුර දිස්ති‍්‍රක්කයන්ට අවදානම් එල්ලවනු ඇති බව සිතිය හැකිය. පසුගිය ඉරිදාව වන විට යළිත් වරක් කැලණි ගඟ පිටාර ගලමින් තිබුණ අතර නායයෑම් ගැන රතු එළි දැල්වෙමින් පැවතිණි. කෑගල්ල නිල්වක්ක ප‍්‍රදේශයේ සිටින මගේ එක් ඥාතිවරියක මා අමතා පැවසුවේ ඔවුන්ගේ පළාතට යන මාර්ගයේ එක් තැනෙක බස් රථ දෙකක් වළ දැමීමට තරම් ප‍්‍රදේශයක් ගිලා බැස ඇති බවත් තමන්ද අවදානම් සංඥා ගැන විමසිල්ලෙන් පසුවන බවත්ය. රට පුරාම අඩු වැඩි වශයෙන් පවතින්නේ මෙවන් තත්ත්වයකි.

එසේම මෙය සුනාමියෙන් පසුව රට මුහුණ පෑ බරපතළම ස්වාභාවික ව්‍යසනය බව දැන් තහවුරුව හමාරය. ජීවිත හානිවල සංඛ්‍යාව සාපේක්ෂව ඉතා අඩු මට්ටමක් පැවතියද සිදුව ඇති ව්‍යසනයෙන් ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ.
අප වඩාම සැලකිල්ල යොමු කළයුතු අවදානම නැතිනම් බරපතළ තත්ත්වය ඇත්තේ සිදුව ඇති ව්‍යසනයට පිටිනි. එය මේ දිනවල පළවෙන විවිධ පුවත් හරහා සනාථ වෙමින් තිබේ. මේ වන විට ගංවතුරට යටවූ පළාත්පාලන බල ප‍්‍රදේශවල පාලකයන් විචේචනයට ලක්ව සිටින්නේ සුන්බුුන් ඉවත් නොකිරීම ගැනය. ඔවුන්ද මාධ්‍ය ඉදිරියට පැමිණ දුක්ගැනවිලි කියන්නේ අනතුරට නොපත් ආයතනවල වාහන අදාළ කාර්යය සඳහා එවන ලෙසටය. ඒ සමඟ රජයට මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවලටද එල්ල වන චෝදනා නිමක් නැත.

රූපවාහිනී තිරය ඉදිරියට එන හානියට පත් ජනතාව කරන්නේ දෙස්දෙවොල් තැබීමය. ඒ අතර දේශපාලන අධිකාරිය දිගින් දිගටම සහන ප‍්‍රතිඥා නිකුත් කරයි. මේ සියල්ල මැද අප යළිත් අත් දුටු කටුක සත්‍යය වන්නේ මෙයයි. සුනාමිය වැනි ඉතා බරපතළ අනතුරකට මුහුණ දුන් පසුවද අපට තවමත් ආපදාවකින් වන හානි අවම කරගැනීමට සහ කඩා වැටෙනා ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සමත් කළමනාකරණ වැඩපිළිවෙළක් නොමැති බවයි. අපට ආපදා කළමනාකරණයට අමාත්‍යාංශ තිබේ. එහෙත් ඔවුහුද ආපදාවන් කළමනාකරණය කරනවා විනා අවශ්‍ය පිළියම් සඳහා ප‍්‍රමාණවත් මැදිහත්වීම් නොකරති. රටේ ආපදාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පළමුවම ක‍්‍රියාකාරී සහ අඛණ්ඩ ජාතික ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. එහෙත් අපේ ප‍්‍රතිපත්ති ඇත්තේ කඩදාසිවල පමණි. අනෙක් අතින් ආයතන අතර සබඳතාවන් ඉතා අල්පය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙන්ම මාධ්‍ය ආයතනද මෙවන් අවස්ථාවල සහසම්බන්ධයෙන් කටයුතු කළ යුතුව වුවද අපට පෙනෙන්නේ එකිනෙකා වෙන වෙනම කටයුතු කරන බවක් පමණි.

උදාහරණයක් ලෙස රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්ෂා තත්ත්වයන් ගැන පළකරන අනාවැකි සමඟ වර්ෂාපතනය මැනීම සහ ගංගාවන් පිටාර ගැලීම ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුරෝකථන සහ ඒ සමග වන ක්ෂණික මාධ්‍ය දැනුවත් කිරීම් යනාදිය සමගාමීව පැවතිය යුතු අංග වුවද අපට දක්නට ලැබෙන්නේ වන් මෑන් ෂෝ පමණි. ඊට මාධ්‍ය සංදර්ශනද ඇතුළත් කළ යුතුය. සෑම ව්‍යසනයකදීම අපට මාධ්‍ය වෙතින්ද දක්නට ලැබෙන්නේ ඊට මුවාවී කෙරෙනා මාධ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන්වල අසිරියයි. සෑම මාධ්‍යයක්ම පාහේ සිය කාලයෙන් වැඩි කොටසක් වැය කරන්නේ එකිනෙකා පරයමින් හානියට පත් ජනයාට සහන සැපයුවේ තමන් බව කියා ගැනීමට සහ වොයිස් කට් හරහා ජනතාවගෙන් ඒ බව කියවා ගැනීමටය. එය කෙසේවත් තම නම ගසා බඩු බෙදන ඒවා තමන්ගේ බඩු නම් අනෙකාට ඇති රුදාව කුමක්දැයි ලැජ්ජා නැතිව අසනා දේශපාලකයාගේ මෙන්ම හානිවූවන් බැලීමට සංචාර ගොස් සෙල්ෆි ගසා ඊට ප‍්‍රචාරය දෙන අයගේ වැඩවලට වෙනස් නොවේ.

මේ අතර ව්‍යසනය හමුවේ විවිධ මට්ටම්වලින් මැදිහත්ව සහන සැලසීමේ කටයුතුවලට පිරිස් හි මැදිහත්වීම් පැවති බවද ඔවුනට ගෞරවයක් සේ පැවසිය යුතුය. දුම්රියේ මගීහු ඒ දින ගණනාවේම තම දිවා බත් පාර්සලය ආහාර එකතු කළ අයට භාර දී යනු දක්නට ලැබුණි. ඒ අතරම ෆේස්බුක් වැනි මාධ්‍ය හරහාද ක‍්‍රියාත්මක වැඩපිළිවෙළ දක්නට ලැබුණි. එවන් බොහෝ වැඩසටහන් සම්බන්ධයෙන් දක්නට ලැබුණ එක් අඩුපාඩුවක් සමස්ත ක‍්‍රියාවලියේම එක් දුර්වලතාවක් මතුකර දක්වයි. ඒ සම්බන්ධීකරණයේ ඇති අවිධිමත්භාවයයි. දන්සැලකට එකතු කළ ද්‍රව්‍ය රැගෙන අරණායක බලා ගිය මගේ එක් මිතුරකු පැවසුවේ එහි අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සහන ද්‍රව්‍ය තිබු හෙයින් තම කණ්ඩායමට ආපසු හැරී ඒමට සිදුවූ බවයි. මෙය පසුගිය දිනවල බොහෝ අයගේ අත්දැකීම වු බවට සැක නැති. එසේම අප සැමදා අත්දුටු අනෙක් කරුණ වනුයේ ආපදා තත්ත්වය පහව ගිය පසුව බොහෝ පාර්ශ්වවලට හානියට පත් පිරිස් අමතක වන බවයි.

අද අප මේ භුක්ති විඳින්නේ මිනිස් ක‍්‍රියාකාරකම්වලම අනිටු ඵල බව සැක නැත. එහෙයින් මේ පොදු ව්‍යසනයන්ගෙන් මිදීම සඳහා රටකට දැවැන්ත හා අඛණ්ඩ වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙයි. එවන් වැඩපිළිවෙළ නැතිකම නිසා අපට සිදුව ඇත්තේ ගංවතුරින් නියඟයට මාරුවෙමින් වරින්වර සහනාධාර එකතු කරමින් සැනසෙන්නට පමණි. විශේෂයෙන්ම ලොවෙහි අනාගතය ව්‍යසන පිළිබඳ වාර්තාවන්ගෙන් පිරීයෑමට නියමිත තත්ත්වයක් යටතේ අප මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ සඳහා මූලිකත්වය ගතයුත්තේ රජය මිස අන් පාර්ශ්වයක් නොවේ. රජය අවංක අධ්‍යාශයකින් ආපදා තත්ත්වයන්හීදී සියලූ පාර්ශ්ව සම්බන්ධීකරණය කරගැනීමට සමත් විය යුතුය. දේශපාලකයාගේ සිට මාධ්‍ය දක්වා එවන් අවස්ථාවක වැඩ කළයුත්තේ පොදු වැඩ සටහනකට අනුව මිස තම තමන්ගේ අභිමතය පරිදි නොවේ. එසේ කිරීමේ ප‍්‍රතිඵල අප මෙවරද දුටුවේ අනවශ්‍ය ද්‍රව්‍ය ගොඩගැසීම සමගිනි. ඒ සමග අපේ ඇතැම් චර්යාවන්ද නිග‍්‍රහයට පාත‍්‍රවිය යුතු අවස්ථා දක්නට ලැබුණි. එක් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයක නිලධාරීන් පිරිසක් තමන්ට පරිත්‍යාග ලෙස ලැබුණ ඇඳුම් තෝරනු මම දුටිමි. ඔවුන් සමග කළ කතාබහේදී දැනගන්නට ලැබුණ එක් කරුණක් වුයේ සමහරුන් නිවෙසින් කසළ ගොඩට දැමිය යුතු දිරූ ඇඳුම් නිවසින් පිටකර ගැනීමට මේ අවස්ථාව කරගෙන ඇති බවයි. එහෙයින් ඒ නිලධාරීන් කළේ පළමුව සියලු ඇඳුම් අතරින් සුදුසු ඒවා තෝරා ගැනීමට සැලකිලිමත් වීමයි.

ආපදා සම්බන්ධයෙන් ගත යුතු පියවර බොහෝ ඇතත් ඒ අතර දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙස ජනතා අධ්‍යාපනය ඉදිරියට ගත යුතුව තිබේ. ආපදාවකදී එය ව්‍යසනයක් බවට පත්වීමට ජනතාවගේ නොදැනුවත්කම සහ ආකල්ප බලපායි. කලින් දෙන අනතුරු නොතැකීමද ඊට ඇතුළත්ය. එහෙයින් වහාම දීප ව්‍යාප්ත මට්ටමේ දැනුවත් කිරීමේ විධිමත් වැඩසටහනක් සංවිධානය කළ යුතුය. විශේෂයෙන්ම එය පාසල් පාදකව සිදුකිරීම අත්‍යවශ්‍යය. හදිසි අනතුරක සිට ජාතික ව්‍යසනයක් දක්වා මගපෙන්වීම් ඊට ඇතුළත් විය යුතුය. ජාත්‍යාලයට වඩා අද මේ අධ්‍යාපනය රටට ඇවැසිය. අන් සියලු වැඩසටහන් අතර මෙය දීර්ඝකාලීන වැඩසටහනක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත යුතුය. නිසි රක්ෂණාවරණ ක්‍ර‍මවේදයක් ස්ථාපනය පිළිබදවද රජයේ අවධානය යොමු වීමට දැන් කාලය එළඹ ඇත. වර්තමානයේ අප දකිනා අඩුපාඩු අනාගතයේදී මඟ හරවා ගතහැකි එක් විසඳුමක් වන්නේ එයයි.

මුලාශ්‍ර‍ය රාවය | ඡායාරූපය අමිල ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com