උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව

Jul 10, 2016
Maithripala and Vigneshwaran

අද දින සම්මන්ත්‍ර‍ණයෙහි පවත්වන්නට යෙදිලා තියෙන මෙම සාකච්ඡාවේදි මුලික කරුණක් විදිහට අපි අරන් තියෙන්නේ උතුරු පළාත් සභාව විසින් යෝජනා කර තිබෙන්නා වු දේශපාලන තීරණය හා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කල යෝජනාවලිය. විශේෂයෙන්ම මතුකළ යුතු කාරණය තමයි මෙම යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය නෙවෙයි. ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ උතුරු පළාත් සභාව. ඇත්ත වශයෙන්ම උතුරු පළාත් සභාව මෙය යෝජනා කරද්දි දෙමළ ජාතික සන්ධානය එවැනි යෝජනාවලියක් ඉදිරිපත් කලේ නැහැ. ඊට හේතුව ඔවුන් අද පවතින යහපාලනය කියන ආණ්ඩුවත් සමග එකගතා දේශපාලනයක් අරගෙන යාමයි. උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් මහතාගේ මුලිකත්වයෙන් මෙම යෝජනාවලිය වැඩි බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන තියෙනවා. ඔවුන් ඉදිරිපත් කලේ තමන් උතුරු නැගෙනහිර පළාතෙන් වැඩිපුර දෙමළ ඡන්ද අරගෙන බහුතර බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවලා තියෙන පාර්ශවයක් හැටියට අපි දෙමළ ජනතාව වෙනුවෙන් මෙය ඉදිරිපත් කරනවා කියන කාරණය. අද දෙමළ ජනතාව තුලත් රට තුලත් විදේශ රටවල් තුලත් වැඩිපුර සාකච්ඡාවට ලක්වෙලා තියෙන යෝජනාවලිය හැටියට ඔවුන් ඉදිරිපත් කරලා තියෙන ෆෙඩරල් යෝජනාවලිය පත්වෙලා තියෙනවා. මේකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ අලුත් සොයාගැනීමක් නෙවෙයි. මේක 1950 දී චෙල්වනායගම් මහතාගේ නායකත්වයෙන් තිබුණ තමිල් කොන්ග‍්‍රසය ඉදිරිපත් කරපු යෝජනාවලියෙන් කොටසක් විදිහට නැත්නම් එම යෝජනාවලියේ සාරංශයක් විදිහට හදුන්වන්නට පුලුවන්. පළාත් සභාව ඉදිරිපත් කරල තියෙන ෆෙඩරල් කියන සංකල්පය නැත්නම් මෙම යෝජනාවලිය අපි පක්ෂයක් හැටියට පිළිගන්නේ නැහැ.

ඊට හේතුව වන්නේ මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙන අදහස අපේ රටේ අද පවතින ජාතික ගැටලුවට විසදුමක් වෙන්නේ නැහැ කියන කාරණාවයි. විශේෂයෙන්ම බහුජාතික සමාජයක් තියෙන මේ රට තුල ඔවුන් යෝජනා කරලා තියෙන යෝජනාවලියට ජාතික ගැටලුවට විසදුමක් විදිහට පිළිගන්න බැහැ කියන මතයෙ තමයි අපි ඉන්නේ. අපේ සමාජය තුල තියෙන පංතිමය භේදය, පංතිමය ප‍්‍රශ්නය මේ විසදුම හරහා යනකොට ඒක තවත් වෙන්වෙලා යන තත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ පංතිමය වශයෙන් අපේ සමාජය එකතුවෙන්න බැරි තත්වයකට මෙම යෝජනාවලිය විසින් තල්ලු කරනවා කියලයි අපි සිතන්නේ. ඔවුන් ඉදිරිපත් කරලා තියෙන ෆෙඩරල් ක‍්‍රමයට යනකොට අපේ සමාජය තුල තිබෙන පංතිම වෙනස පංතිමය වශයෙන් ඉදිරියට එන එක නතර වෙන බවයි අපි සිතන්නේ. අපිට සමාජයෙහි තිබෙන ප‍්‍රධාන ගැටලු හතරක් හදුනා ගන්නට පුලුවන්. එකක් පංතිමය ගැටලුව. අනිත් එක ජාතික ගැටලුව. ඊට පස්සේ කුල බේදය. සිංහල හා දෙමළ සමාජය තුල තියෙන කුල භේදය. හතරවෙනි එක කාන්තාවට එරෙහිව තියෙන පීඩනය. මේ රටේ තියෙන එකී ගැටලු අතරතුර මෙම යෝජනාවලිය හා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන්නේ තනිකර ජාතික ගැටලුව ගැන විතරයි. අනිත් ප‍්‍රශ්න ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ජාතික ගැටලුව ගැන කතා කරනකොටත් ඔවුන් ඉතිහාසයේ කාලයට ගිහින් එහෙ ඉදන් තොරතුරු අරන් ඇවිත් තමයි කරණු ඉදිරිපත් කරන්නේ. මෙතැනදි විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි දකුණේ නැත්නම් සිංහල සමාජය තුල සිංහල බෞද්ධ ජාතිවාදය තමන්ගේ ඓතිහාසික අයිතිය ගැන කතා කරලා තමන්ට තමයි ලංකාව අයිති කියලා කියන විදිහටම තමයි දෙමළ ජාතික සන්ධානය දෙමළ ජාතිවාදයෙහි ඉතිහාසයට ගිහිල්ලා ඉතිහාසයේ අපි ලංකාව රට පාලනය කළා නැත්නම් ප‍්‍රාන්තයක් පාලනය කළා එමනිසා පාලක පංතියක් හැටියට අපිට නැවත එම පාලනය දෙන්න කියන මතයෙන් තමයි ෆෙඩරල් ඉල්ලන්නේ. ඔවුන් යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ එහෙමයි.

අපි කියන්නේ දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදය වගේම උතුරේ පටු ජාතිවාදයත් කාලයෙන් කාලයට තමන් තුල තමන් රණ්ඩු කරගෙන තමන් තමා පෝසත් කරගෙන ඇවිල්ල තියෙන ඉතිහාසය තමයි ලංකාව තුල තියෙන්නේ. මේ නිසාමයි ලංකාවේ වැඩකරන ජනතාවගේ එකගතාවය කියන එක කාලයෙන් කාලයට පිටිපස්සට තල්ලු වෙලා තිබෙන්නේ. මෙයින් පංතිමය බලවේගය එකතු කර ගැනීම සදහා වු අභියෝගය දිගින් දිගටම පවත්වා ගෙන යනවා. එහිදී අපි විශේෂයෙන් බලනවා ඊට උත්සාහ කරන කාලසීමාව තුල තමයි දෙමළ ඊලම කියන ඉල්ලීම දෙමළ ජාතික ජාතිවාදීන්ගේ පැත්තේ ඉදලා ඉදිරිපත් වෙන්නේ. අපි වමේ පක්ෂයක් හැටියට කිසිසේත් මේ දෙකටම-ඒ කියන්නේ දෙමළ ඊලමටවත් නැත්නම් මොවුන් කියන ෆෙඩරල් ක‍්‍රමයටවත් අපි කිසිකාලෙක එකගවෙලා නැහැ. අපි මේ පංතිමය සටනට මුලපුරද්දි ඔවුන් මේක ඉදිරියට දාලා එම පංතිමය එකගතාවය නැත්නම් පංතිමය සටනට ලොකු බාධාවක් එල්ල කරනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නා වු දෙමළ ජනතාව වගේම මුස්ලිම් ජනතාව හා කදුකර දෙමළ ජනතාව කියන ජන කොටස් වලට ජාතික ප‍්‍රශ්නයක් තියෙන බව මෙමගින් පෙන්නුම් කරන හැටි අපි පිළිගන්නවා. අපි පිළිගන්නා හැටියට මේ රටේ ජාතික ගැටලුවක් තියෙනවා. රටේ මුලික ප‍්‍රශ්නයක් වන පංතිමය ගැටලුව එහෙමම තියෙද්දි මේ ජාතික ගැටලුව ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ලෙස ඉදිරියට ඇවිල්ල තියෙනවා. එම ජාතික ගැටලුව පිළිගන්නා අතර අපි බලන්නේ ඒකාබද්ධ ලංකාව තුල සියලුම ජන කොටස් එකතුවෙලා සියලුම ජන කොටස් වල අභිලාශයන් ඉටුකරගත හැක්කේ කොහොමද කියන කාරණාවයි. අපි පිළිගන්නවා මේ රටේ ජාතීන් හතරක් ජීවත් වෙනවා කියලා. සිංහල, මුස්ලිම්, දෙමළ හා කදුකර දෙමළ කියන ජාතින් හතරක් මේ රටේ ජීවත්වෙනවා කියන එක පිළිගන්නා අතරතුර තව බර්ගර් වගේ ජන කොටස් ලංකාවේ ජීවත්වෙනවා කියන කාරණාව අපි පිළිගන්නවා. එබැවින් මෙම ජන කොටස් වලට විවිධ ප‍්‍රශ්න ගැටලු තියෙන බව අපි පිළිගන්නවා.

මෙහිදි මාක්ස්වාදී දෘෂ්ඨිකෝණය හා පංතිමය දෘෂ්ඨිකෝණය හරහා බලනවිට මෙම ගැටලුවට කෙබදු විසදුමක් ලබා දෙන්න පුලුවන්ද කියන එක තමයි ප‍්‍රධාන කාරණාවක් විදිහට අද ඉදිරියට ඇවිල්ලා තියෙන්නෙ. ෆෙඩරල් එහෙම නැත්නම් තනි ඊලම වගේ නැතිව රටේ ජීවත් වන්නා වු සියලුම ජන කොටස්වල අභිලාෂයන් ඉටුකරන්න පුලුවන් සාමුහිකව ජීවත් වෙන්න පුලුවන් රටක් ගොඩනගමින් රට තුළ එම විසදුම ලබාගැනීමට උත්සාහ ගැනීම වැදගත් කියන කාරණාව තමයි අපි අවධාරණය කරන්නෙ. අද අපිට ජනතාවගේ පැත්තෙන් එන ප‍්‍රශ්නය තමයි විශේෂයෙන්ම අපි පක්ෂයක් හැටියට සහ දෙමළ ජනතාව අතර වැඩිපුර වැඩ කරන පක්ෂයක් හැටියට අපි දෙමළ ජාතිවාදීන්ට එරෙහිව කතා කරන විට දෙමළ මිනිස්සු අපෙන් අහනවා ජාතික ගැටලුවට වමේ නැත්නම් සිංහල සමාජයේ තියෙන විසදුම මොකක්ද කියලා. සිංහල සමාජයේ වමේ පක්ෂ කුමන දෘෂ්ඨිකෝණයෙන්ද බලන්නේ කියන ප‍්‍රශ්නය ජනතාවගේ පැත්තෙන් එල්ල වෙනවා. විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ සිට බලනකොට ආරම්භයේදී වමේ ව්‍යාපාරය දෙමළ ජනතාව ගැන රටේ ජීවත්වන සියලුම ජනතාව ගැන කතා කරපු දේශපාලන සංස්කෘතියක් තිබුනා. යුද්ධයත් සමග ජාතිවාදයෙහි නැගීමත් සමග එම වමේ ව්‍යාපාරය සහ වමේ නායකයෝ ගොඩක් දෙනෙක් සිංහල බෞද්ධ ජාතිවාදය පැත්තට තල්ලුවෙලා දෙමළ ජනතාව තුළ තිබුණු වම පිළිබද විශ්වාසය කඩලා දැම්මා. එම පරතරය තවමත් පැවතෙනවා. යුද්ධය ඉවර උනාට පස්සේ ජාතික ගැටලුව පිළිබද සංවාදය සිංහල සමාජය තුළත් ඉදිරියට ඇවිත් තියෙනවා. ඇත්තටම පැරණි මාක්ස්වාදි නායකයන්ට ඇරෙන්න අලුතින් බිහිවෙන සිංහල සමාජය තමන්ගේ ප‍්‍රශ්නයට නැත්නම් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට කොයිවගේ උත්තරයක්ද ඉදිරිපත් කරන්නේ නැත්නම් ඔවුන් ඉදිරිපත් කරන විසදුම මොකක්ද යන ගැටලුවලට උත්තර දෙන්න අවශ්‍ය වෙනවා. නැතහොත් දෙමළ සමාජය දැන් තල්ලුවෙලා තියෙන පටු ජාතිවාදී තලයේදි ඔවුන් ඊට හිරවෙලා ඉන්න එක අපිට වලක්වන්න බැරි වෙනවා. එමනිසා ජාතික ප‍්‍රශ්නය ගැන සිංහල සමාජයේ වාමාංශික කොටස් දරන අදහස මොකක්ද කියන එක ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කේ. සී. සෙන්දිවේල් මහතා විසින් ඉදිරිපත් කළ අදහස් අක්ෂය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com