කුලය -වික්ටර් අයිවන්

Jan 22, 2017
VictorI

වර්ගභේදය ගැන මිනිසුන්ට කියාදීම පහසුය. එහෙත් කුලභේදය ගැන මිනිසුන්ට කියාදීම ඊට වඩා අමාරුය. වර්ගභේදය පැහැදිලිව පෙනෙන්නට තිබෙන ලක්ෂණයකි. එහෙත් ඊට වෙනස්ව කුලභේදය ලංකාවේ සැඟවී ක්‍රියාත්මක වන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. වර්ගභේදය එළිපිට සටන් කරන විට කුලභේදය සටන් කරන්නේ සැඟවී ගරිල්ලා ව්‍යාපාරයක් ලෙසය. බොහෝ විචාරකයන් ලංකාවේ ජාතික අර්බුදය විග්‍රහ කරන්නේ සිංහල මහා වර්ගය හා සිංහල නොවන සුළු වර්ග අතර තිබෙන ආරාවුලක් ලෙසය. එම ජනප්‍රිය මතයට වෙනස්ව මා හැමදාමත් දරන ලද මතය වුයේ එම මහා ආරාවුල තුළ වර්ගයට අතිරේකව කුලය හා ආගම යන සාධක ඊට බලපා තිබෙන බවය. මා එය තේරුම් ගත්තේ ජවිපෙ කැරැල්ලේ අත්දැකීම් ආශ්‍රයෙනි. බොහෝ විචාරකයන් අප්‍රේල් කැරැල්ල විග්‍රහ කරන ලද්දේ පන්තිය මුල් කරගත් සටනක් ලෙසය. එහි කුලය වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළ බව නොපෙනුණේය. එහෙත් ඊට කුලය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව එවකට පාලන බලයේ සිටි සමඟි පෙරමුණු ආණ්ඩුව තේරුම් ගෙන තිබුණි. අත්අඩංගුවේ සිටි තරුණ තරුණියන් පුනරුත්ථාපනය සඳහා ආණ්ඩුව කරන ලද ගවේෂණයකදී ඔවුන්ගේ කුලය ගැනද සොයා බැලුවේය. එම කැරැල්ලට කුලයද වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කර ඇති බව නිරීක්ෂණය විය. මම කුලය ගැන කරුණු සොයා බලන තැනකට යොමුවුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

බොහෝ දෙනෙක් කුලය ගැන තමන්ගේ අවංක අදහස් පළකළෝය. ප්‍රශ්නයේ ඇති බරපතළකම පළමුවෙන් තේරුම් ගත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දෙවැනි කැරැල්ලට සම්බන්ධ වුයේ නැතත් කැරලිකරුවන්ගේ ස්වභාවය ගැන කරුණු හැදෑරීමේ හැකියාව මට ලැබුණි. උතුරේ දෙමළ කැරැල්ල හැදෑරීමේදීද මට පෙනුණේ එම කැරැල්ල කෙරෙහිද වර්ගය පමණක් නොව කුලයද බලපා තිබෙන බවය. විජේවීර අයත් වුයේ සිංහල කුල ක්‍රමයේ අතරමැදි කුලයකටය. ප්‍රභාකරන් අයත් වුයේද දෙමළ කුල ක්‍රමයේ අතරමැදි කුලයකටය. විජේවීර කරාව කුලයට අයත් වන විට ප්‍රභාකරන් අයත් වුයේ කරයාර් කුලයටය. කරයාර් කුලය කරාව කුලයේම දෙමළ ප්‍රභේදය විය. මෙම කැරලි දෙකේ පෙනෙන්නට තිබුණු තවත් වැදගත් ලක්ෂණයක් වුයේ නායකයන් දෙදෙනා අතරමැදි කුලවලට අයත් වන විට එම නායකයන් දෙදෙනාගේ ප්‍රධාන ජෙනරාල්වරුන් දෙදෙනා සිංහල හා දෙමළ සමාජයේ ආන්තික කුලවලට අයත්වීමය. ගමනායක අයත් වුයේ සිංහල කුල ක්‍රමයේ ආන්තික කුලයකටය. තමිල් සෙල්වම් අයත් වූයේද දෙමළ කුල ක්‍රමයේ ආන්තික කුලයකටය. විජේවීරගේ සිංහල කැරලි දෙකේ මෙන්ම ප්‍රභාකරන්ගේ දෙමළ කැරැල්ලේද පාද සෙබළුන්ගෙන් වැඩි පිරිසක් අයත් වුයේ සිංහල දෙමළ කුල ක්‍රමයේ ආන්තික කුලවලටය. ඔවුන්ගේ විමුක්ති දහම වැඩි වේගයකින් පැතිරුනේ ගොවිගම හා වෙල්ලාල නොවන ගම්වලය.

මේ කැරලි දෙකෙන් වැඩිම හානියක් ඇති වුයේද ආන්තික කුලවලට අයත් ජනයාටය. යාපනේ අර්ධද්වීපය ප්‍රභාකරන්ගේ ආධිපත්‍යය යටතේ තිබුණු කාලයෙහි යාපනයට ගිය අවස්ථාවකදී එල්ටීටීඊය තමන්ගේ දණ්ඩ නීති සංග්‍රහයක් පළකර තිබෙන බව දැනගන්නට ලැබුණි. එය මාගේ කුතුහලයට හේතුවු කරුණක් වීම නිසා එහි පිටපතක් ලබාගැනීමේ ආශාවක් මා තුළ ඇතිවුණි. එහි පිටපතක් සොයාගැනීමට දරන ලද උත්සාහය සාර්ථක කරගැනීමට මට හැකිවිය. පොත දෙමළ භාෂාවෙන් පළකර තිබීම නිසා එය කියවා තේරුම් ගැනීමේ හැකියාවක් මට නොතිබුණි. නැවත කොළඹට පැමිණි පසු එම පිටපත හිතවත් දෙමළ නීතිඥයෙකුට ලවා කියවා එහි විශේෂ දෙයක් වෙතොත් එය කුමක්දැයි මට කියන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. පොත ආපසු දෙන අවස්ථාවේදී ඔහු මට කීවේ එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේම කාබන් පිටපතක් බවය. එහෙත් අපේ දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් නැති විශේෂ කාරණා දෙකක් ඊට ඇතුළත්ව තිබෙන බව ඔහු කීවේය. කුලය මත පදනම් වී කරන පීඩාවන්ට දැඩි දඬුවම් ලබාදිය හැකි ප්‍රතිපාදන ඊට ඇතුළත් බවත් ඊට අතිරේකව දෑවැද්ද පාලනය කරන ප්‍රතිපාදනද ඊට ඇතුළත් බවත් ඔහු කීවේය. ඉන් පෙනෙන දර්ශනයද මාගේ නිරීක්ෂණය සනාථ කරන්නේය.

යුද්ධය පැවති කාලයේදී උතුරේ අයිඩිපි කඳවුරුවල පදිංචි වුයේ උතුරේ පංචමයන් ලෙස සැලකෙන පීඩිත කුලවල ජනයාය. එමනිසා පංචමයන් ගණයට නොවැටෙන කුලවල ජනයා අවතැන්වුවන්ගේ කඳවුරුවලට නොගොස් එම ප්‍රදේශවල හෝ ඉන් පිටත තම ඥාති හිතවතුන්ගේ නිවෙස්වල පදිංචියට යන ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. ප්‍රභාකරන්ට තිබු ආධිපත්‍යය නිසා උතුරේ වෙල්ලාල කුලයේ ජනයාගෙන් විශාල පිරිසක් විදේශගත වු අතර තවත් පිරිසක් කොළඹට සංක්‍රමණය වුහ. අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු අයිඩිපි කඳවුරුවල ජීවත්වන ජනයා තමන්ගේ ගම් ප්‍රදේශවලට නොගොස් අයිඩිපි කඳවුරුවල ජීවත් වන ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාලිංග ටියුඩර් ද සිල්වා ඉන්දියානු සමාජ විද්‍යාඥයකු සමඟ අධ්‍යයනයකින් යුද්ධය අවසන්වීමෙන් පසුත් කඳවුරවල රැඳීසිටි ජනයා තමන්ගේ ගම් ප්‍රදේශවලට නොයෑම කෙරෙහි බලපා තිබෙන හේතුව ලෙස සොයා ගත්තේ ප්‍රභාකරන් නැති තත්වයක් තුළ නැවත කුලභේදය හිස ඔසවන නිසා කඳවුරුවල සිටීමට මෙම පංචමය ජනයා කැමති බවය. දෙවැනි කැරැල්ලෙන් පසුව ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම කැරලිවලට හේතු සොයා බැලීමට තරුණ අසහන කොමිසමක් පත් කරන ලද අතර දකුණේ සිංහල කැරලි හා උතුරේ දෙමළ කැරලි කෙරෙහි කුලය වැදගත් සාධකයක්ව බලපා තිබෙන බව එම කොමිසමේ නිගමනය විය.

ආගම් භේදය හා වර්ග භේදය කරළියට එන්නට පෙර කුලය ලංකාවේ මිනිසුන් බෙදන ප්‍රධාන සාධකය වී තිබුණි. ලංකාවේ කුලය පිළිබඳව කරන ලද ප්‍රථම අධ්‍යයනය ලෙස සැලකිය හැක්කේ ලංකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳව පළමු මහාචාර්යවරයා වන ඇමරිකන් ජාතික බ්‍රයිස් රයන්ය. ඔහු එමගින් කුලය ලංකාවේ බෞද්ධ ශාසනය, පවුල සහ වැඩවසම් ක්‍රමය සම්බන්ධ වී ඇති ආකාරයත් අන්තර් කුල සම්බන්ධතා පිළිබඳවත් ගැඹුරු විග්‍රයක් ඉදිරිපත් කළේය. කාස්ට් ඉන් මොඩර්න් සිලෝන් නමින් පළ කළ එම ග්‍රන්ථය මෑතකදී ඉන්දියානු මුද්‍රණයක් පළකරන තෙක් දුලබ ග්‍රන්ථයක් වු අතර මුල් පිටපත අලෙවි වුයේ රුපියල් පනස් දහසකටත් වැඩි මුදලකටය. 2015 දී විශ්ව කෝෂයේ කර්තෘවරයකු වු චන්ද්‍ර ශ්‍රී රණසිංහ විසින් එහි සිංහල පරිවර්තනයක් කර තිබෙන අතර එය පළ කොට තිබෙන්නේ ගොඩගේ සමාගම විසිනි. බ්‍රයිස් රයන්ගේ එම ග්‍රන්ථය සැලකෙන්නේ සිංහල කුල ක්‍රමය ගැන ලියැවුණු බයිබලය වශයෙනි. ඔහු එම පර්යේෂණ ග්‍රන්ථයෙන් පෙන්වා දී තිබෙන පරිදි 19 වැනි සියවසේ අවසානයේ පටන් 1925 පමණ දක්වා ලංකාවේ පහළ වු ඉතාම කටුක ගැටුම් ඇති වුයේ ජනවර්ග අතර නොව කුල අතරය. එකල ජාතිය ලෙස සැලකුණේද කුලයයි. එයා අපේ ජාතියේ කෙනෙක් යන්නෙන් අදහස් වුයේ එයා අපේ කුලයේ කෙනෙකු යන්නයි. වර්ගය හා ආගම යන සාධක ගැටුම් ඇති කරන සාධක බවට පත්වුයේ ඉන්පසුවය.

වර්ගය, කුලය හා ආගම යන සාධක ලංකාව බෙදීගිය ජාතියක් බවට පත්කිරීමට බලපා තිබෙන ආකාරය විග්‍රහ කරමින් ලියැවී තිබෙන ප්‍රශස්තම විවරණය ලෙස සැලකිය හැක්කේ බී.එච්. ෆාමර් විසින් ලියා තිබෙන බෙදීගිය ජාතියක් යන පුංචි කෘතියයි. ෆාමර් එම කෘතිය ලීවේ 1963 දී ය. අදත් කුලය දේශපාලනයේ ප්‍රබල බලවේගයක් වන බව ඔහු එහි කියා තිබේ. මෙම කෘතියට ඇතුළත් කොට තිබෙන සෝල්බරි සාමිගේ පෙරවදන ඉතා වැදගත්ය. ලංකාවේ ජාතික අර්බුදය පිළිබඳව සෝල්බරි කොමිසමට තිබුණේ අල්ප දැනුමක් බවත් ෆාමර්ගේ මෙම විග්‍රහය කියවන්නට ලැබුණේ නම් කොමිසම කල්පනා කරන විදිය වෙනස් වන්නට ඉඩ තිබුණු බවත් එහි සඳහන් කර තිබේ. බ්‍රයිස් රයන්ගෙන් පසුකල මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා කරළියට එන තෙක් කුලය ගැන අධ්‍යයනයක් කිරීමෙන් ලංකාවේ සමාජ විද්‍යාඥයන් වැළකී සිටි බව පෙනේ. එම පුපුරනසුලු ප්‍රශ්නයට අතගැසීමට ලංකාවේ සමාජ විද්‍යාඥයන් මැලිකමක් දැක්වී යැයි කිව හැකිය. ඊට අවශ්‍ය නිර්භීතභාවය ඔවුන්ට නොතිබුණේ යැයිද කිව හැකිය. අදත් කුලය පිළිබද සාකච්ඡාව කරලියට නොපැමිණෙන්නේ මෙම හේතුව නිසාවෙනි. ශාස්ත්‍රීය පරිහානිය ලංකාවේ දේශපාලනයට පමණක් සීමාවු දෙයක් ලෙස සැලකිය නොහැකිය. අපේ චින්තනයේ ඇති දිළිඳුකමට ශාස්ත්‍රාලීය උගතුන්ද වගකිව යුතුය.

වර්ග භේදය හා ආගම් භේදයට පිළිගැනීම නැති කොට වර්ග හා ආගම් අතර සහජීවනයක් ඇති කිරීමෙන් පමණක් ජාතිය ගොඩනැගිය නොහැකිය. ගැටුම් තිබෙන්නේ මහා වර්ග, මහා ආගම් හා සුළු වර්ග හා සුළු ආගම් අතර පමණක් නොවේ. නැතහොත් වර්ග අතර පමණක් නොව වර්ග තුළද ගැටුම් තිබෙන්නේය. වර්ග තුළ තිබෙන ගැටුම් කෙරෙහි බලපා තිබෙන පුපුරන සුලු සාධකය ලෙස සැලකිය හැක්කේ කුල ක්‍රමය මුල් කරගත් උස්පහත් භේදයයි. එම ලක්ෂණය සිංහල සමාජයට සේම දෙමළ සමාජයටද පොදුය. එය ඔහුගේ පොත ලියන කාලයට පමණක් නොව වර්තමානයටත් වලංගුය. කුල ක්‍රමය මත පදනම් වු උස් පහත් භේදය මනුෂ්‍ය ගෞරවය නැතිභංග කරන කුරිරු හා අවලස්සන සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙයද පුනරුදය ව්‍යාපාරය ගොඩනැගීම සඳහා කෙරෙන සාකච්ඡාවලදී සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන තවත් වැදගත් මාතෘකාවක් ලෙස සැලකිය හැකිය. එය පැරණි වැඩවසම් ක්‍රමය තුළ ශ්‍රම විභජනය සඳහා යොදා ගැනුණු අවලස්සන හිංසාකාරී ක්‍රමයක් ලෙසද වැඩවසම් ප්‍රවේණිදාස ක්‍රමයේ දේශීය ස්වරූපය ලෙසද සැලකිය හැකිය. වැඩවසම් යුගයේදී කුලය අනුව සමාජය උසස් හා පහත් ලෙස බෙදා වෙන් කරන ප්‍රධාන ස්ථර දෙකකට බෙදී තිබුණි.

කුලය ඉපැරණි කාලයේදී නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමක්ය යන විශ්වාසය නිසා උසස් කුලීනයන්ට බැලමෙහෙවර කිරීම තමන් වෙත පැවරී තිබෙන යුතුකමක් ලෙස කුලහීනයෝ නිහඬව පිළිගත්හ. කුලයකට පිවිසීම උත්පත්තියෙන්ම සිදුවු දෙයක් වීම හේතු කොටගෙන එම සමාජ ව්‍යුහය තුළ සමාජ සචලතාවක් නොවීය. සිංහල කුල ක්‍රමය අනුව ගොවි කුලයද දෙමළ කුල ක්‍රමය අනුව වෙල්ලාල කුලයද උත්තම ස්ථානයෙහිලා සැලකුණු අතර අන් සියලුදෙනා සැලකුණේ අඩු කුල ලෙසය. එකල කුල ක්‍රමය ගිහි පැවිදි යන දෙපක්ෂයේම පරිපාලනය මෙහෙයවීය. අය බදු හැසිරවීය. සමාජ සම්බන්ධතා පාලනය කළේය. දෙමළ කුල ක්‍රමය කෙරෙහි ආගම බලපෑ මුත් සිංහල කුල ක්‍රමය කෙරෙහි ආගම බලපෑවේ නැත. එහෙත් සෑම මිනිසකුටම ඔහුගේ කුල තත්ත්වය වෙනස් කළ නොහැකි උරුමයක් වු අතර සමාජ ජීවිතය සේම චර්යාවද පාලනය කළේය. පුද්ගලයෙකු නීතිමය අයිතිවාසිකම් කෙරෙහි සේම යුතුකම් කෙරෙහි ද කුලය බලපෑවේය. සිංහල වර්ගවාදී අර්ථකථනයට අනුව සිංහල කුල ක්‍රමය අහිංසක පාරම්පරික ආයතන ක්‍රමයකි. එය හිංසාකාරී හෝ පීඩක බල ව්‍යුහ ක්‍රමයක් නොවීය. එහෙත් සත්‍ය තත්ත්වය එය නොවීය. එය මිනිසුන් හිංසාවට හා පීඩාවට ලක් කෙරෙන ක්‍රමයක් විය.

කුලය මිනිසුන් කතා කළ යුතු විදිය, කන බොන හා හැසිරිය යුතු විදිය පමණක් නොව ඇඳුම් පැළඳුම් ඇඳිය යුතු විදිය පවා තීරණය කළේය. එය වංශවතුන් නොවන හැම කෙනෙකුම අවඥාවට ලක් කරන හිංසාවට ලක් කරන පීඩාකාරී ක්‍රමයක් විය. ලංකාවේ පැවති කුල ක්‍රමය දුර්වල කොට වංශවතුන් නොවන මිනිසුන්ට කිසියම් විශාල ප්‍රමාණයකට මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ලද්දේ සිංහල වීරයන් විසින් නොව අප පරසුද්දන් ලෙස අවඥාවෙන් සලකන බ්‍රිතාන්‍යයන් විසිනි. රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේද නීතිය ඉදිරියේ භේදයකින් තොරව සියලු මිනිසුන් සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇති කළේද බ්‍රිතාන්‍ය පාලන කාලයේදීය. එමනිසා රට ධනේශ්වර ක්‍රමයකට මාරුවීම නිසා කුල ක්‍රමයට තිබුණු ශක්තිය දුර්වල කෙරුණද කුල ක්‍රමය විසින් ඇති කර තිබුණු උස් පහත් භේදය අවසන් වුයේ නැත. එය සිදුවිය විය යුතුව තිබුණේ ජාතිය ගොඩනගන ක්‍රියාවලිය තුළය. එහෙත් ජාතිය ගොඩනැගීමක් සිදුනොවීම නිසා කුල ක්‍රමය විසින් ඇති කර තිබු උස්පහත් භේදය නොපෙනෙන අවතාරයක් සේම සමාජය හිංසාවට හා පීඩාවට ලක් කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබේ. එය මනුෂ්‍ය ගෞරවය කෙළෙසන සාධකයක් ලෙසද ක්‍රියා කරයි.

මුලාශ්‍ර‍ය රාවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com