ගෝඨාභය කැඳවීම සහ ජනාධිපතිවරයාගේ ඉරණම -සරත් විජේසූරිය

Jun 5, 2016
Sarath-Wijesooriya

​ජනවාරි අට වෙනිදා මේ රටේ නීතිගරුක පුරවැසියන් දිවි පරදුවට තබා තෝරා ගන්නා ලද ජනාධිපතිවරයා පදවි ප‍්‍රාප්තියෙන් පසුව වැඩි කල් යා නොදී ජනතා අපේක්ෂා භංග කරන තැනකට තල්ලුවෙමින් කටයුතු කිරීම අතිශයින් වේදනාකාරී වේ. ඉතා වේගයෙන් රට වැසියන්ගේත් ලෝක නායකයන්ගේත් අවධානය දිනා ගනිමින් මානව හිතවාදී නායකයෙකුගේ ගතිලක්ෂණ විදහාපාන ලද නායකයා ඉතා වේගයෙන් නීතිගරුක පුරවැසියන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් සිටියි. අංක එක රට. අංක දෙක පක්ෂය යයි පුරවැසියන් අබිමුව සිය හඩින් පැහැදිලිව අවධාරණය කර තිබෙන ජනාධිපතිවරයා සිය කි‍්‍රයාවෙන් දිගින් දිගටම පෙන්නුම් කරන්නේ අංක එක පක්ෂය. අංක දෙක රට බවයි. රටේ වෙනසක් සඳහා කැපවුණ නායකයා කුඩා කරගනිමින් ශී‍්‍රලනිපයේ නායකයා විශාල කර ගැනීමට දරන්නා වු වෙහෙස සම්බන්ධයෙන් විචාරශීලී නොවුණහොත් රටේ අනාගතය අභාග්‍ය සම්පන්න ඉරණමකට බඳුන් වනු නියතය.

පක්ෂය

පක්ෂයේ සහ සන්ධානයේ නායකයා වශයෙන් ජනාධිපතිවරයා දිගින් දිගටම අසාර්ථක වන්නේය. මහින්ද රාජපක්ෂගේ හා සන්ධානයේ සුළු පක්ෂවල නූල් සූත්තර නිසා ජනාධිපතිවරයා අතට ලැබුණ පත භුක්ති විඳින්නට නොහැකි තත්ත්වයකට පත්ව සිටියි. ඊට වගකිව යුත්තේ සැබැවින්ම ජනාධිපතිවරයාමය. පක්ෂය රැක ගැනීමේ දේශපාලන කී‍්‍රඩාව සඳහා ජනාධිපතිවරයා මේ අවස්ථාවේ පිවිස සිටින්නේ සැබෑ කී‍්‍රඩා පිට්ටනියකට නොව ලොකු බොරුවලක් මත අටවන ලද පිට්ටනියකටය. මේ කී‍්‍රඩා පිට්ටනියේ සිදු කරන්නට අරඅඳින කී‍්‍රඩාවේ ප‍්‍රතිඵලය නිසැකවම ජනාධිපතිවරයාගේ විනාශය බව පැහැදිලිය. මහින්ද සමඟ නැඟිටිමු යනුවෙන් නුගේගොඩින් පටන් ගත් ව්‍යාපාරය ලත් තැනම ලොප් කිරීමට ජනාධිපතිවරයා අසමත් වන්නේය. එම ව්‍යාපාරය සැබැවින්ම මුට්ටිය දමා කළ සාර්ථක අත්හදා බැලීමකි. එය මැනැවින් සාර්ථක විය.

එම ව්‍යාපාරය රට පුරා බලය පතුරුවන විට පක්ෂයේ හා සන්ධානයේ නායකයා කිසිවක් කළේ නැත. කිසිවක් කළ නොහැකි වුයේ ඔහු පක්ෂයේ හා සන්ධානයේ නාමික නායකයා පමණක් වු නිසා නොවන්නේද. බලය යනු නරක උපකරණයකි. එහෙත් බලය අවශ්‍ය අවස්ථාවේදී පරිහරණය කිරීමට අසමත් වු විට සිදු වන්නේ කුමන්ත‍්‍රණයක ගොදුරක් වීමටය. දින සියය තුළ එජාපයේ අරමුණ වුයේ තම බල ව්‍යුහය ශක්තිමත් කර ගැනීමය. එහෙත් වඩා හොඳින් සිදුවුයේ දින සියය තුළ ශී‍්‍රලනිපය ප‍්‍රමුඛ සන්ධානයේ බල ව්‍යුහය ශක්තිමත් වීමය. මහින්දට නැවත උපතක් නැත යන අධිතක්සේරුව මත කවුරුත් ප‍්‍රියසාද පවත්වන විට ශී‍්‍රලනිපයේ බලය සුළු පක්ෂ කිහිපය අත් පත් කර ගත්තේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමෙන් ඔවුන්ට අභිමත අන්දමින් කටයුතු කිරීමට අවශ්‍ය උපරිම සහාය අදුරදර්ශීව ලබා දුන්නේය.

ගෝඨාභය

ශී‍්‍රලනිපයේ හා සන්ධානයේ නාමික නායකයා බවට පත්ව සිටින ජනාධිපතිවරයා ගාලු මැයි රැළිය තමා පක්ෂයේ සැබෑ නායකයා බව තහවුරු කිරීමට ගත් නිෂ්ඵල ප‍්‍රයත්නයක් බව කිව යුතුව තිබේ. එසේ පවසන්නේ කිරුළපන රැළියට තම නායකත්වය නොපිළිගෙන සහභාගි වුණු පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයක පසුවෙන බැවිනි. නියපොත්තෙන් කඩන්නට තිබෙන දල්ල කඩා නොදැමීම නිසා ජනාධිපතිවරයාට ඊළඟට මුහුණ දෙන්නට සිදු වන්නේ පක්ෂය රැකගැනීමේ අරගලයට නොව ලෝකය අබිමුව තබා තිබෙන ප‍්‍රතිඥා ඉටු කර ගැනීමට බාධා කරන්නාවු මාර සෙනඟ පරාජය කිරීමටය. එම අභියෝගයට මුහුණ දීම පහසු නොවනු ඇත. ජනාධිපතිවරයා එ් ගැන කල්පනා නොකරන බවට කරුණු පෙනී යන්නට පටන් ගෙන ඇත. නිසි අවස්ථාවේ නිසි තීරණ ගැනීමට අසමත්ව හෙමින් ගමනක් යන ජනාධිපතිවරයාට ඊළඟට සිදු වන්නේ බොරු වලක පතුල දකින්නටය. ගෝඨාභය රාජපක්ෂ ළංකර ගතහොත් එම ඉරණම ජනාධිපතිවරයාට නිසැකවම උරුමය.

මහින්දව සහ බැසිල්ව තාවකාලිකව දුරස්ථ කරමින් ගෝඨාභය රාජපක්ෂ සමීප කරගෙන පක්ෂයේ බලය තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයාට මේ වනවිට ලැබී තිබෙන අනුශාසනාව බව වාර්තා වේ. ගෝඨාභය ළංකර ගෙන පක්ෂයේ බලය ජනාධිපතිවරයාට තහවුරු කර ගත නොහැකිය. වතුරට වඩා ලේ ඝනකමය යන කියමන අනාගතයටත් අතිශයින් වලංගුය. ජනාධිපතිවරණයට පෙර ජනතාව අබිමුව රාජපක්ෂ පාලනයේ දූෂණය හා භීෂණය ගැන පැවසු කරුණු කාරණ අනුව නිසි අන්දමට කටයුතු කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටිය යුතුය. තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, ඇතුළු ඝාතන හා පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම් සම්බන්ධ චෝදනා සියල්ල එල්ල වෙමින් තිබෙන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය. රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තීන්දු කළ එම පුද්ගලයා මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය තුරුලට ගෙන පක්ෂයේ බලය ගොඩ නඟා ගත හැකි යයි කල්පනා කරන්නේ නම් එතුමා විසින්ම පවසන ලද පොළොවෙන් අඩි හයක් යට ඉරණම එතුමාටත් පවුලේ උදවියටත් උරුම වන්නේය යන කියමන යළිත් බලාත්මක වන්නේය.

ගෝඨාභය රාජපක්ෂ යනු දේශපාලනඥයෙක් නොවේ. ඔහු පරිපාලන නිලධාරියෙක්ද නොවේ. ඔහු හමුදා නිලධාරියෙකි. ඔහුට තිබෙන්නේ හමුදා පුහුණුවකි. ඊට අදාළ විනයකි. හමුදා නිලධාරියා සම්බන්ධ අවසන් අර්ථකථනය නම් ඉහළින් ලැබෙන අණ වහාම පිළිපැදීමට, කි‍්‍රයාවට නැංවීමට කැපවීමයි. රණවිරුවන් ලෙසින් අද බන්ධනාගාරගතව සිටින සහ සිරගතව සිටින හමුදා නිලධාරීන් සැබැවින්ම ලැබුණ අණ පිළිපැදීම හා කි‍්‍රයාවට නැංවීම හේතුවෙන් මිනීමරුවන් බවට පත්ව සිර බත් කන සහ සිර බත් කන්නට නියමිත පුද්ගලයන්ය. සිය සහෝදරයා රටේ නායකයා බවට පත්වුණ නිසා ආරක්ෂක ලේකම් පදවිය ඉසිලු සැබවින්ම විධායක ජනාධිපතිවරයෙකු ලෙසම කටයුතු කළ අසාමාන්‍ය බලයක් භුක්ති විඳින ලද රාජකීය ජීවිතයක් තමන්ටත් බිරිඳට සහ දරුවන්ට උරුම කර ගැනීමට සමත් වු අසාමාන්‍ය ධනයක් මතු අනාගතයේ තමන්ගේ ලේ ඥාතීන්ට හෝ උරුම කර දෙන්නට සමත් වු ගෝඨාභය රාජපක්ෂ සිය සහෝදරයාට හා ඥාතිවර්ගයාට එරෙහිව කිසිවක් කරන්නට තරම් අකෘතඥ වන්නේ නම් නැත. එය ඉර හඳ මෙන් තිරසරය. ඔහු ජනාධිපතිවරයා සමීපයට එනවා නම් එන්නේ පක්ෂය ගොඩ නැඟීමට හෝ ජනාධිපතිවරයාට පක්ෂයේ බලය තහවුරු කර දීමට හෝ නොවේ. ඔහු එන්නේ තමාගේත් තම සහෝදරයන්ගෙත් තම පරම්පරාවේත් මතු ආරක්ෂාව පිණිසය. එහි සැක කරන්නට හෝ විමසන්නට හෝ කරුණක් නැත. ජනාධිපතිවරයා පක්ෂයේ බලය උරුම කර ගන්නට වෙර දරන්නේ පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ පුළුල් න්‍යාය පත‍්‍රයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය දූරදර්ශී නුවණින් වියුක්ත තැනක සිටිමිනි. ඔහු පක්ෂයේ බලය උරුම කර ගැනීමට කියවන්නේ මහින්ද රාජපක්ෂ කියවන ලද අශීලාචාර පොතමය.

කුමන්ත‍්‍රණය

දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධ අදාළ පුද්ගලයන් නීතිය අබිමුවට පැමිණවීම සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයා මෙන්ම අග‍්‍රමාත්‍යවරයා ද විවිධාකාරයෙන් චෝදනා ලබා ඇත. එනමුත් ඇතැම් පරීක්ෂණ ඉතා සාර්ථකව නිම කර තිබෙන බවද අදාළ අංශ මඟින් පැවසේ. මේ පසුබිම තුළ රාජපක්ෂවරුන් තැතිගෙන තිබෙන බවද ප‍්‍රබල කාරණාවකි. ඇතැම් අපරාදයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ කොටු වීමට තිබෙන ඉඩ ප‍්‍රස්ථාවද කතා බහට ලක්වෙමින් පවතී. ආණ්ඩුවේ ඇමති පදවි ලබා සිටින දූෂණ වංචාවලට සහ අපරාදවලට සම්බන්ධ කිහිප දෙනෙකුද බරපතළ අන්දමට කැළඹී සිටින බවද නොරහසකි. දැන් කරමින් සිටින්නේ යම් අන්දමකට පරීක්ෂණ කටයුතු සිදු කරගෙන ගිය සංදර්භය කඩා බිඳ දමා අවුල් කිරීමය. වෙන විසඳුමක් නැත. මේ සඳහා එක් පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපතිවරයා අතර සන්ධානය ගොඩ නැඟීම එක් පියවරකි. අනෙක් පියවර වන්නේ වංචා දූෂණ පරීක්ෂණ සිදු කළ නිලධාරීන් දෝෂ දර්ශනයට ලක් කර ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමයි. එකී කාර්යභාරය වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවේ භාණ්ඩාගාරික ලෙස සැලකිය යුතු කාර්යය මණ්ඩල ප‍්‍රධානියෙකු යම් පියවරක් දියත් කොට එය සාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ.

සත්‍ය වශයෙන්ම පරීක්ෂණ කටයුතුවලට නායකත්වය දුන් නිලධාරීන් රාජපක්ෂවරුන්ගේ බලවත් ධන හස්තයට යටවී නම් ඔවුන් සම්බන්ධව කරුණු සොයා බලා නිසි දඬුවම් කළ යුතුය. ඔවුන් නිර්දෝෂී නම් එම කුමන්ත‍්‍රණයේ පෙරගමන්කරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතුය. දේශපාලන බල අරගලය අභ්‍යන්තරයේ සිදු වෙන කටයුතු විග‍්‍රහ කර බලන කවරෙකුගේ වුව වැටහෙන නුවණට අනුව නම් රාජපක්ෂවරුන් දියත් කර තිබෙන කුමන්ත‍්‍රණය සාර්ථකය. මිනීමැරුමක් සම්බන්ධ ඇසින් දුටු සාක්ෂිකරුවන් අනපේක්ෂිතව මියගියහොත් එසේ නැතිනම් මිනීමැරීම සම්බන්ධ පරීක්ෂණය සිදු කළ නිලධාරියා අතුරුදන් වීම සිදුවුණහොත් ඉතා දුර්වල ක‍්‍රමවේදයන් යටතේ අපරාධ කටයුතු පිළිබඳ විමර්ශනය කරන රටක මිනීමරුවා නිදහස්වීම අනිවාර්ය වේ. අද අප සිටින්නේ එබඳු කුමන්ත‍්‍රණයක් අබිමුව බව පෙනේ.

බල අරගලයේ න්‍යායාචාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තේරුම් නොගන්නා කරුණක් ඇත. එය නම් මේ න්‍යායාචාරීන් තමන්ට වඩා මහින්ද රාජපක්ෂ කෙරේ ළැදියාවකින් කටයුතු කරන්නේය යන්නයි. රාජ්‍ය බලය සම්බන්ධ ජනතා පරමාධිපත්‍යය ගැන අවධානය යොමු කරන්නේ නම් මහින්ද රාජපක්ෂ චරිතයට වඩා ජනතාවක් මෛතී‍්‍රපාල සිරිසේන චරිතය වටා එ්කරාශී විය. සෙනඟ උතුරන රැස්වීම් මහින්ද රාජපක්ෂ පැවත්වුවත් ඔහු වටා එකතු වුණු ජනතාව අඩු වුවා මිස වැඩි වුයේ නැත. සැබැවින්ම වැඩි වන්නේද නැත. එබඳු යථාර්ථයක් තුළ මහින්ද රාජපක්ෂ නැතුව ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකිය යන කාරණාව තුළ ඉතා පැහැදිලිව තිබෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුව බිඳ දැමීමේ උවමනාවයි. එහි ප‍්‍රතිඵලය ජාතිවාදය යළි බලසම්පන්නව නිල වශයෙන් හිස එසවීමයි.

සම්මුතිය

ජනවාරි අට වෙනිදා ජනාධිපතිවරණය ජාතිවාදය හා ජාතික සංහිඳියාව අතර ජනමතය උරගා බැලීමක් ලෙසද විග‍්‍රහ කිරීමට පුළුවන. මහින්ද රාජපක්ෂට ලැබුණු දුන් ඡන්ද ප‍්‍රමාණයෙන් සියේට අනූවක්ම ජාතිවාදය හා ආගම්වාදය හිසින් ගත් පුද්ගලයන්ගේ ඡන්දය. මෛතී‍්‍රපාල සිරිසේනට ලැබුණ ඡන්ද ජාතික සංහිඳියාව අනුමත කළ ඡන්දය. ජනවාරි අට වෙනිදායින් පසුව ලෝක ප‍්‍රජාවද ලංකාව සම්බන්ධයෙන් දැරූ ආකල්පය වෙනස් කර ගත යුතුය යන තැනට නැඹුරු වු බව සත්‍යයකි. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ලෝක නායකයන්ගේ පිළිගැනීමට හා ප‍්‍රසංශාවට ලක් වන්නේ වර්ගවාදය පිටු දකිමින් ජාතික සංහිඳියාවට කැපවු නායකයකු ලෙස හඳුනා ගනිමිනි. මේ කිසිවක් මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණ සම්මුතිවාදී ආණ්ඩුව තුළ සිටින ශී‍්‍රලනිපයේ මැති ඇමතිවරුන්ට වැදගත් නැති බව පෙනේ. වැදගත්කමක් දකින්නේ නම් ගෝඨාභය රාජපක්ෂ වැනි උග‍්‍ර ජාතිවාදියෙකු සහ උග‍්‍ර ආගම්වාදියෙකු ජනාධිපති වරයාගේ තුරුලට කැඳවමින් පක්ෂය දිනවන තැනකට පල්ලම් බහින්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ කර ගතහොත් නිසැකවම ජනාධිපතිවරයා කෙරේ ලෝක ප‍්‍රජාව තබා ඇති විශ්වාසය නැන්තටම නැති වන බව සහතිකය. මානව හිමිකම් ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා ලෝක ප‍්‍රජාව අබිමුව ප‍්‍රකාශ කළ සියල්ල දූවිලි බවට පත්වන බව නිසැකය. ගෝඨාභය රාජපක්ෂගේ කර පිටින් පක්ෂයේ බලය තහවුරු කර ගැනීමට හැකි යයි ජනාධිපතිවරයා පිළිගන්නේ නම් එම පිළිගැනීමට අනුව කටයුතු කරන තැනකට නැඹුරු වන්නේ නම් ජාතික සංහිඳියාව වෙනුවෙන් මේ රටේ නීතිගරුක පුරවැසියන් තබන ලද සියලු අපේක්ෂා භංග වන්නේය. එය වු කලී රට නැවත අඳුරට තල්ලුවීමක් වන්නේය. ගෝඨාභය රාජපක්ෂ ශී‍්‍රලනිපයට සම්බන්ධ කරගතහොත් සුලු ජාතීන් ශී‍්‍රලනිපයෙන් දුරස්ථ වන්නේය. ජනාධිපතිවරයා ශී‍්‍රලනිප ආණ්ඩුවක් තැනීමට සම්මුතිවාදය පිටු දකින තැනකට හිතුවක්කාර තීන්දුවක් ගන්නේ නම් සිවිල් සමාජය රටේ සියලු නීතිගරුක පුරවැසියන් ජනාධිපතිවරයා දිගින් දිගටම කරමින් සිටින විශ්වාසය බිඳ දැමීමට එරෙහිව හැකි සෑම පියවරක් ගැනීමට පෙරමං බැලිය යුතුය. ප‍්‍රබල සමාජ ව්‍යාපාරයක් ගොඩ නඟමින් යළි හිස එසවීමට වෙර දරන ජාතිවාදය පරාජය කිරීමට දිවි හිමියෙන් කැප විය යුතුය.

මූලාශ්‍ර‍ය රාවය

One thought on “ගෝඨාභය කැඳවීම සහ ජනාධිපතිවරයාගේ ඉරණම -සරත් විජේසූරිය

  1. ඉන්දි සිල්වා says:

    අපි මෛත්‍රීට ඡන්දය දුන්නෙ රට හදන්න. නමුත් දැන් සිද්ධවෙන්නෙ මෛත්‍රීගෙ වටේ ඉන්න අය හැදෙන එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com