ඡන්දයට කළ හැකි දෙයක් නොමැත. -දීප්ති කුමාර ගුණරත්න

Jan 7, 2017
deepthikg

ධනවාදයේ වර්ධනයට අවිඥානිකව මිනිස් ආත්මයේ සහාය හිමිව ලංකාවේ හැත්තෑ හතට පසුව බිහි වු පුර්ණ ලෙස විකසිත ධනවාදී සමාජය පසුගිය වසර දක්වා රූපකයක් ලෙස සැලකුවහොත් එය ගලා යන ජීවිතයක් මඟින් නිරූපණය කළ හැක. එනම් ගලා යන නදියයි. මෙම යුගයේදී ලාංකේය මිනිසා ප්‍රභේද දෙකකට වෙන්වී ගියේය. එක් කට්ටියක් ධනවාදයට එරෙහි වුවන් විය. ඔවුහු වාමාංශිකයෝය. අනෙක් කට්ටිය නිදහසට මුල් තැන දෙන ලිබරල්වාදීන්ය. ඔවුහු දක්ෂිණාංශිකයෝය. දැන් මෙම බල රටා දෙක වෙන් කර ගැනීමට අපහසු තරම් බොඳ වී ඇත. දැන් අපට කිව හැක්කේ සියලුදෙනාම ධනවාදයට පක්ෂපාතී වී ඇති බවයි. මෙම සන්දර්භය නිසා ලංකාවේ සමාජය දැන් පොකුණක් වී ඇත. එහි ජලය නැත්නම් මිනිසුන් එකතැන පල්වෙයි. සැබෑ අභියෝගය ඇත්තේ දැන්ය.

බාහිරින් ධනවාදයට විරුද්ධ මිනිසුන් ධනවාදයම ඉල්ලා සිටියි. විරෝධාකල්පකරුවන්, උද්ඝෝෂකයන්, වැඩවර්ජකයන්, සමලිංගිකයන්, ප්‍රතිසංස්කරණවාදීන් යනාදී සියලුදෙනාටම මෙම සමාජ ක්‍රමයේ ප්‍රතිපෝෂණයට අවශ්‍යය. දැන් අප සොයා ගත යුත්තේ ධනවාදයට පක්ෂපාතී මිනිසුන්ය. පොකුණේ ජලය පල් වී ගඳ ගසන බව දැන් අපි දන්නෙමු. එහි ඇත්ත තත්ත්වය කීමට නහය වසා ගත යුතු නැත. යම්කිසි ජන සමාජයක් ගලා යන නදියක සිට එක තැන පල් වන පොකුණක් බවට රූපාන්තරණය වු පසු අපට කළ හැක්කේ කුමක්ද යන්න ගැටලුවකි. මහින්ද රාජපක්ෂ රෙජීමයේ පුර්වජ පියාගේ ලක්ෂණ සහිත සමාජය නිදහස් ඡන්දය මඟින් පෙරළා දමා දැන් වසර දෙකක් ගත වී ඇත. නමුත් ගුණාත්මක වශයෙන් සිදු වු පෙරළියක් නැත. යුගයක් වෙනස් වීමට ගලා යාම පමණක් ප්‍රමාණවත්ද යන්න මීළග ගැටලුවයි.

ජීවිතය විවිධාකාරයෙන් සංස්කරණය වෙයි. මින්පසු පුද්ගලයෙක් සිටිනා වු සමාජය මඟින් රැස්කර ගත් ඥාන සම්භාරයට හඳුන්වා දීමක් සිදුවේ. මෙබඳු ඥානයක් ලැබුණා වුවත් බිය හා අනාරක්ෂිතභාවය නිසා පුද්ගලයා වික්ෂිප්ත වෙයි. මෙබඳු විට පුද්ගල විඥානය ක්‍රියාත්මක වන්නේ කඳු ප්‍රපාතයන්ගෙන් හා පර්වත ප්‍රාන්තයන්ගෙන් පහතට වැටෙන නදිය මෙනි. මින්පසු ජීවිතයට පරමාර්ථ දෙකක් හමුවෙයි. එක්කෝ සාගරයට ගලා ගොස් නැවත උත්පත්තියක් ලැබිය හැකිය. නැත්නම් පිටවීමට අවකාශයක් නොමැතිව සමතලාවෙහි නතර වී පල් විය හැකිය. මෙම පල් වල තුළදී නැවත සිතීම හෙවත් නෙළුම් මල යනු මිනිසුන් විසින්ම සංග්‍රහ කරන ලද සංකල්පයන්ගේ හෝ සිද්ධාන්තයන්ගේ ගොදුරු බවට මිනිසාම පත්වීම මෙනෙහි කිරීමයි. එම ක්‍රියාකාරීත්වයට අප කියන්නේ ප්‍රබුද්ධත්වය කියාය. ඡන්දයක් අපව එය කරා රැගෙන යන්නේ නැත.

මුලාශ්‍ර‍ය සමබිම

One thought on “ඡන්දයට කළ හැකි දෙයක් නොමැත. -දීප්ති කුමාර ගුණරත්න

  1. Wasantha says:

    ලංකා සමාජය පිළිබඳ වෙනස් අර්ථකථනයකි. මම තවමත් ඒ ගැන සිතමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com