ජාතිවාදයේ මංමුලාව හා අනාගමික රාජ්‍යය

Oct 7, 2016
patali

මෙරට දේශපාලනය තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ කථාව මෑත අවුරුදු කීපයක පටන් වරින් වර ඉස්මතුවන මාතෘකාවකි. රාජපක්ෂ පාලනයද සිය පාලන කාලයේ අවසන් භාගයේ නව වස්වස්ථාවක් සකස් කළ යුතුයැයි පවසන ලදී. ඊට වත්මන් පාලනයේ ආරම්භයත් සමග ක‍්‍රියාකාරී ව්‍යුහයක්ද සකස් වු අතර මහජන අදහස්ද එකතු කෙරිනි. නව ව්‍යවස්ථාව පිළිබඳ කතාවත් සමග කරලියට ආ තවත් සාකච්ඡාවක් වුයේ ලංකාව අනාගමික රාජ්‍යයක් බවට නව ව්‍යවස්ථාව තුළින් පත් කළ යුතු බවය. එයත් සමග ඊට එරෙහිව මහානායක හිමිවරුන්ගෙන් සහ වෙතත් ජාතිවාදී ආගම්වාදී පිරිස් කෙරෙන් මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ගෙන්ද විවේචන එල්ල විය. එවිට සුපුරුදු පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ තමන් එවැන්නකට ඉඩ නොදෙන බවය.

නිර්ආගමිකභාවය රාජ්‍ය සංකල්පයක්ව නැගී සිටියේ මධ්‍යතන යුගයේ අවසානයත් සමග සනිටුහන් කළ ධනවාදී රාජ්‍යයන් තුළය. එය ලිබරල් රාජ්‍ය සංකල්පයක් ලෙස බොහෝ ධනේශ්වර රාජ්‍ය එක්කර ගැණුනු අදහසක් වුයේ ඉන්පසුවය. ලංකාවේ නිදහස පිළිබඳ සාකච්ඡාව සමාජයක් ලෙස විමුක්ති අභිලාෂයන් වෙත ගෙන යන අරගලයකට වඩා මුල පටන්ම පැවතියේ පටු අගතීන්ගේ සංකලනයක් ලෙසය. අද එය අප පසුගාමී ධනවාදයක ලක්ෂණ හැටියට හඳුන්වනු ලබන එය මුල පටන්ම දායාද කොට ගත්තේ එවන් පටු අගතීන්ට පහර දෙනවා වෙනුවට සිය පටු පෞද්ගලික මෙන්ම දේශපාලන වාසි තකා යොදවා ගන්නා සංස්කෘතියක් සැකසීමටය. එමනිසා ලංකාවේ නිදහස පිළිබඳ අරගලයට ආගමික ස්වරූපයන් එකතුවීම වලකාලිය නොහැකි විය.

ඕනෑම නිදහස් අරගලයක ජාතිකවාදී සහ ආගම්වාදි ස්වරූපයන් පැන නැගීම පුදුම සහගත කරුණක් නොවුනද අපට සිදුවුයේ එය ඉදිරියෙන් තබාගෙන කටයුතු කරන සම්ප‍්‍රදායක් නිර්මාණය කිරීමය. ප‍්‍රතිඵලය වුයේ එය ආගමික සීමාවෙන් එහාටද යමින් වර්ගවාදී ස්වරූපයකට තල්ලුවීමය. ඊට මුලික ලෙස බලපෑවේ කුඩා වෙළෙඳපල වපසරියක අඩව් ඇල්ලු ලංකාවේ වෙළෙඳ ගැටුමය. එය ධනවාදී ලෝක වෙළඳපලක් දක්වා පළල් වනවා වෙනුවට භූමියේ පටු සීමාවන්ට යට විය. එවිට සිය ගනුදෙනු බේරා ගැනීමට ගියේ ලාංකීය පොළොවේ බෙදුම් රේඛා ඔස්සේ යමිනි. අසුව දශකයේ පමණක් නොව අනගාරික ධර්මපාලගේ සමයටද මෙම විවේචනය අදාළය. මෙය තවත් විදියකින් ලාංකීය රාජ්‍යත්වයට ආගමික ස්වරූපයනක් ලබාදුන් රාජ්‍ය පාලනය හා සංඝ සමාජය අතර මුල පටන්ම පැවති සහජීවනයයි.

එහි ව්‍යාප්තිය කොතෙක්ද යත් රජු තෝරා ගැනීමට නැත්නම් ඔටුණු පැළඳවීමට පවා සංඝ සමාජය කටයුතු කළ අතර රජුන්ද පෙරළා විහාර දේපල හා එහි පාලනය භික්ෂුන්ට පැවරූ අතර භික්ෂු සංස්කෘතිය හැලහැප්පිලි පාලනය රාජ්‍ය පාලනයට බාර කෙරුනි. දන්ත ධාතුව වැනි ආගමික සිහිවටන රාජ්‍යත්වයේ සංකේතයක් වශයෙන් ඔසවාලනු ලැබුවේ මෙම සුසංයෝගයේ ප‍්‍රතිඵලයක් ලෙසය. රාජ්‍යත්වය සමග ආගම සම්බන්ධ වීම ලාංකේය සමාජයට පමණක් සීමාවුවක්ද නොවේ. ක‍්‍රිස්තියානිය බිහිවනුයේ රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර ප‍්‍රදේශවල පීඩිතයන්ගේ ආගමක් හැටියටය. එහෙත් එය ක්‍රිස්තුන්ගෙ මරණින් වසර පන්සියයක් යාමටද පෙර රෝම අධිරාජ්‍යයේ ආගම බවටද සෙසු බොහෝ රටවල ආගම හා රාජ්‍ය ආගම බවටද පත් විය.

එහෙත් ප‍්‍රංශ විප්ලවය ඇතුලු ලොව ධනේශ්වර විප්ලව හරහා ගොඩනැගුණු මධ්‍යතන විරෝධි දේශපාලන මතවාද විවාද තුළින් රාජ්‍යය ආගමෙන් වෙන්විය යුතුය යන දේශපාලන පදනම ගොඩනැගෙන්නට විය. එහි ප‍්‍රතිඵලය වුයේ යුරෝපාකරයේ ගොඩනැගුණු බොහෝ ධනේශ්වර රාජ්‍ය සිය රාජ්‍යයත් ලෞකිකභාවය තහවුරු කිරීමය. ඊට අනුව ලොව පුරා අනාගමික රාජ්‍ය පද්ධතියක් ගොඩනැගුනි. අසල්වැසි ඉන්දියාවද පනතක් මගින් රාජ්‍යයේ ලෞකිකත්වය තහවුරු කරන ලදී. එහෙත් ලාංකේය ධනේශ්වරය සිය බල දේශපාලනයේ තුරුම්පුවක් ලෙස අතීත සම්ප‍්‍රදායක නටබුන් සොයා රාජාභිෂේකය සිදු කරන ලදි. එහි තර්කානුකූල ප‍්‍රතිඵලය වුයේ රාජ්‍ය නිල පංගුකාරීත්වයක් ආගමට හිමි වීමය. මෙරට වාමාංශිකයන්ගෙ සහයෙන් එය නිල ලෙස නීතිගත කරනු ලැබුයේ පළමු ජනරජ ව්‍යවස්ථාවෙනි.

ඊට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට බුද්ධාගමද රාජ්‍ය භාෂාව බවට සිංහල භාෂාවද නම් කෙරිනි. ලංකාවේ රාජ්‍යත්වය පිළිබඳ කතාව ආගමික සංස්ථාව සමග වෙලී පැවතුනද බුදුන් දවසද පැවති කිසිදු රාජ්‍යයක බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කොට නැත. සුද්ධෝදන රජු එය විමසු කල බුදුන් එය ප‍්‍රතික්ෂේප කළ බවට බෞද්ධ සාහිත්‍යය සාක්ෂි දරයි. ලෞකික ආයතනයක් වන රාජ්‍ය සමග ලෝකෝත්තර දහමක් වන බුදු දහමට ඇති සම්බන්ධයක් නැත. එහෙත් අප කටයුතු කරනුයේ එම සත්‍යයට පිටුපාමිනි. වසර තිහක් පසුකල ඛේදවාචකයන්ට අනතුරුව අපට පුලුල් දැක්මකින් ලාංකීය සමාජය දෙස බැලීමට නොහැකි වී ඇති අතර අප ඉදිරියට හැම විටම මතුව එන්නේ පටු ජාතිකවාදී වාර්ගික මෙන්ම ආගමික වෙනස්කම් දකිමින් එය පිළිගනිමින් වැඩකරන සම්ප‍්‍රදායන්ය.

යුද්ධයෙන් පසු බැංකු මෙන්ම පරිභෝජනවාදී උපකරණ තොග පිටින් උතුරට කඩා වැදුණු අතර බෞද්ධ මධ්‍යස්ථාන වේගයෙන් ඉදි විය. එදා බෞද්ධ ජනයා පමණක් නොව හින්දු භක්තිකයන් පවා බුදුන්ට ගෞරව කළ අතර අද බුද්ධ ප්‍ර‍තිමා ආක‍්‍රමණික ස්වරූපයෙන් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ වලට කඩා වැදී ඇත. එමනිසා අපට අනාගමික රාජ්‍යය ධනවාදයද තව බොහෝ දුරය. අනෙකා සතු අනන්‍යතාවය පිළිගන්නා තරමට අපට එක්ව කටයුතු කිරීමට පහසු වනු ඇත. මෙතෙක් අප සිදුකළේ නීතිමය වෙනස්කම් මගින් ආගමික රාජ්‍ය නවීකරණය කිරීමය. එමගින් බහුජාතික රාජ්‍යයක දේශපාලන පදනම දෙදරා යන තත්වයත් උදාවිය. එමනිසා වත්මන් යහපාලන ජාතික ආණ්ඩුවෙන් බෞද්ධ රාජ්‍ය ආරක්ෂා කරනවාට වැඩිමනත් දෙයක් බලාපොරොත්තු විය නොහැක.

මුලාශ්‍ර‍ය වම පුවත්පත

One thought on “ජාතිවාදයේ මංමුලාව හා අනාගමික රාජ්‍යය

  1. චාමින් says:

    මේක රෝ‌ග ලක්ෂණ ගැන කරපු විස්තරයක්. රෝ‌ග කාරකයට හෝ‌ රෝ‌ගයට මෙහි කිසිම සම්බන්ධයක් නැහැ නේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com