දෙමළාගේ ප්‍ර‍ශ්නය වෙනුවෙන් මැදිහත්වීම.

Oct 22, 2016
1

​ගල් අතට ගෙන සිටින ශුද්ධවන්තයන්ට පව්කාරයෙකු හමුවී ඇත. දකුණේ දැන් කාලය ගෙවෙන්නේ පව්කාරයාට ගල් ගසන්නට දේශප්‍රේමීන්ට කරන ආරාධනාවන්ද සමඟිනි. හිටපු ජනපතිවරයාද අපේ හාමුදුරුවනේ කියමින් පපුවට ගසා ගනිමින් යළිත් කලඑළි බසින්නේ තමන් බේරාගත් රට යළි අනතුරක වැටෙන්නට යන බවට විලාප තියමිනි. තමන්ගේ පාලන සමය තුළ ලංකාව ගෙන ගොස් තිබෙන නරකාදියක තරම රටේ ජනතාවට වටහාදීමට අසමත් සහ ඊට සැබෑ වුවමනාවක් නැති පාලනයක් තිබෙන හෙයින් තවමත් හිටපු ජනපතිගේ චේතිය කියමන් අසන ප්‍රජාවක්ද ඉතිරිව සිටීම මෙහිලා ඔහුට ඇති වාසියයි. ජනවාරි අටෙන් පසු තරමක් පසු බසින ලද අනෙක් ජාතිවාදීන්ද කලඑළි බැස සිටින්නේ පව්කාරයා විනිශ්චය කිරීමට තම හිමිකම් ඉදිරිපත් කරමිනි.

සැබැවින්ම මේ මොහොතේ පව්කාරයා බවට පත්ව ඉන්නා උතුරු පළාත් මහඇමතිගේ දෙමළ නැගිටීම නම් ව්‍යාපාරය යනු යළිත් කොටි නැතිනම් එවන් ව්‍යාපාරයකට අතදීමක් දැයි දකුණේ ජනතාව බරපතළ ලෙස කල්පනා කරන බවක් දක්නට නැත. ඇත්තේ ප්‍රතිචාර දෙකක් පමණි. පළමුවැන්න විග්නේශ්වරන් යනු දේශද්‍රෝහියකු බවට මත ගොඩනගන්නන්ගේ ප්‍රතිචාරයයි. අනෙක් ප්‍රතිචාරය යනු නිහඬව සිටින්නන්ගේ සිසිර නිද්‍රාවයි. එහෙයින්ම රටෙහි මේ මොහොතේ සිදුවිය හැක්කේ ජාතිවාදීන්ට කූඩැල්ලාට වැටුණු දිය බිඳක්වන් අවස්ථාවක් ලැබීම පමණි. එහෙයින්ම දැනුවත් සහ බුද්ධිමත් සමාජය වහා මෙයට මැදිහත් විය යුතුව තිබේ.

යුද්ධය අවසන්ව දැන් වසර හතක් ගෙවී හමාර බවත්, එම යුද්ධය හමාරවීමෙන් පසුවද තවමත් දෙමළ කියා ජාතියක් මේ රටේ වෙසෙන බවත් දැන් දකුණේ බොහෝ දෙනෙකුට අමතකය. දෙමළාට මනුස්සකම පෙන්වීමට තෑගි අරන් ගිය උදවියගෙන් බොහෝ පිරිස්ද දැන් පිටියෙන් බැස ගොසිනි. මේ වන විට රටේ දෙමළ ප්‍රජාවගේ ප්‍රශ්නය ගැන අවංක අවදිවීමක ඉන්නේ එදා දරුණු යුද සමයක පවා සිය මැදිහත්වීම කළ අතළොස්ස පමණි. කනගාටුවෙන් වුවද කිවයුත්තේ නව ආණ්ඩුවද මේ ප්‍රශ්නය ගැන කළ යුතු අවංක මැදිහත්වීම නොකරන බව පමණි. විග්නේශ්වරන්ගේ වැඩසටහන අල්ලාගෙන ජාතිවාදීන්ට හනුමන්තලා මෙන් හැසිරෙන්නට ඉඩ ලැබී ඇත්තේ එහෙයිනි.

විග්නේශ්වරන්ට කොටි ලේබලය ඇලවීම උත්සාහ දරන දකුණේ ජාතිවාදීන් කිසිවෙකුත් ඔහු මතු කරන ප්‍රශ්න ගැන කටක් අරින්නේ නැත. එකී ගැටලු අතරින් අප අවධානය යොමු කළ යුතු එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දේශපාලන සිරකරුවන් ගැන ප්‍රශ්නයයි. රටේ පාලකයන් පවා කියන පරිදි දේශපාලන සිරකරුවන් කියා පිරිසක් අත්අඩංගුවේ නැත. රාජපක්ෂ ජනපතිට අනුව දේශපාලන සිරකරුවන් වන්නේ තමන්ගේ සමයෙහි බලය අත්තනෝමතික ලෙස භාවිත කර බන්ධනාගාර රෝහල්ගත වන කම්බාහොරුන් පමණි. දේශපාලන හේතු මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එම හිමිකම නොදෙන රටවල් අතර අප සැමදා සිටියේ ඉදිරියෙනි.

අසු නමයේ දකුණේ තරුණයන් අත්අඩංගුවට සහ ඝාතනයට ලක් වු විට ඔවුන්ට දේශපාලන සිරකරුවන්ට මෙන් සලකනු යනුවෙන් ඉදිරිපත් වුණ සටන් පාඨයට එදා පාලකයන්ද කන් දුන්නේ නැත. අද උතුරේ ත්‍රස්තවාදීන් යැයි බෙරිහන් දෙන වීරවංශලා පවා එදා දකුණේ ඉන්නා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් උස් හඬ නැගූ අයුරු අපට මතකය. එදා දකුණේ අරගලය මෙන්ම මෙදා උතුරේ අරගලයද ගත් කල එහිදී භාවිත කෙරුණ සටන් උපක්‍රමවල ඇත්තේ උතුර එය වඩා සංවර්ධනය කර භාවිත කිරීම හැර අන් යමක් නොවේ. එවන් තත්ත්වයකදී දකුණේ ව්‍යාපාරය අරගලයක් වෙද්දී උතුරේ ව්‍යාපාරය පමණක් ත්‍රස්තවාදය වන්නේ කෙසේද යන්නට පිළිතුරක් නැත.

නැවත රට තුළ යුධමය වාතාවරණයක් ඇතිවීමට ඉඩක් නැති බවත්, එල්ටීටීඊය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී අරගල හරහා තම හිමිකම් දිනා ගැනීමට දෙමළ ප්‍රජාව වඩා සුදානම් බවත් අපට වටහා ගැනීමට ගෙවී ගිය කෙටි කාලය හොඳටම ප්‍රමාණවත් විය යුතුය. එහෙත් දකුණ උතුරෙන් අපේක්ෂා කරනුයේ තම හිමිකම් ඉල්ලීමට පෝස්ටරයක් ඇලවීමට, රැස්වීමක් සංවිධානය කිරීමට පවා ඉදිරිපත් නොවන, දකුණෙන් පිඟානට ලැබෙන ඉඳුල් මිට තවදුරටත් යටහත් පහත්ව බුදින්නට තරම් ඉවසිලිවන්ත දෙමළකු පමණි. අපේ බොහෝදෙනා ඉතා මානුෂවාදී ලෙස ඉදිරිපත් කරන දෙමළා මීට වඩා ඉවසිලිවන්ත විය යුතුය යන අදහස මෙන්ම උතුර සිය දේශපාලන අරගලයන්හිදී දකුණේ ජාතිවාදීන්ගෙන් ආණ්ඩුවට එල්ල විය හැකි පීඩනය සිය අරගලයන්හිදී සැලකිල්ලට ගත යුතුය යන අදහසද අපට අනුව නම් තේරුමක් නැති දෙයකි.

යුද්ධය හමාරවීමෙන් පසුව ගෙවුණු මේ කාලය තුළ අප කළ යුතුව තිබුණේ උතුරේ ප්‍රශ්නයට සැබෑ විසඳුමක් දෙන ලෙසට ආණ්ඩුවට බලකරමින් වීදි බැසීමයි. එහෙත් දකුණ එහිදී අවශ්‍ය තරම් ඉදිරියට ආවේ නැති සේම ආණ්ඩුවද තම බලය පාවිච්චි කර ජාතිවාදීන් නිරායුධ කිරීම සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් කළේද නැත. අද පවා උතුරට සිය ගැටලු වෙනුවෙන් අරගල කරන විට දකුණේ ජාතිවාදීන්ගෙන් ආණ්ඩුවට එල්ල විය හැකි පීඩනයක් ගැන සිහිපත් කිරීමට දකුණේ මැදහත් පිරිස්වලට පවා සිදුව ඇත්තේ එහෙයිනි. සැබෑ සාමයක් සඳහා දකුණ කැමැත්තේ නම් අප පළමුව කළ යුතුව තිබු දෙයක් වන්නේ සිරගතව ඉන්නා සැකකරුවන්ට නිදහස ප්‍රදානය කිරීමයි. අවශ්‍ය නම් එහිදී දරුණු චෝදනා ඇති සේ සලකන අයට අධිකරණ ක්‍රියාමාර්ග විවර කිරීමයි.

එහෙත් මනුෂ්‍ය ඝාතනයන්ට දඬුවම් ලබන්නන්ට වින්දිත පාර්ශ්වයට වන්දි ගෙවීමට නියම වු විට ඊට මුදල් එකතු කරන අයියලාට උතුරේ සිරකරුවන් නිදහස ඉල්ලන විට එය නයාට අඳුකොළ මෙන් පෙනෙන්නේ දේශපාලන අවස්ථාවාදය නිසා මිස අන් හේතුවකට නොවේ. අද සල්ලි එකතු කරන අය කල්පනා කළයුත්තේ එදා අසූ නමයේදී මෙවන් අවස්ථාවක් එළඹුණි නම් තමන් ඉන්නේ එසේ සල්ලි එකතු කරන ස්ථාවරයකද නැතිනම් එසේ එකතු කරන පිරිසක් සිටියේ නම් ඔවුන්ට එරෙහි වන ස්ථාවරයකද යන්නයි. සැබැවින්ම අප සාමකාමී ලංකාවක් අපේක්ෂා කරන්නේ නම් කළ යුතුව ඇත්තේ දෙමළා පාරට බසින තුරු නොසිට ඔහුගේ ගැටලුව වෙනුවෙන් මැදිහත්වීමයි. එහිදී ඇතැම් ගැටලු සැබැවින්ම බුද්ධිමත් මිනිසුන්ගේ දැඩි අවධානයට ලක්විය යුතුය. ඉවක් බවක් නැතිව උතුරේ ඉදිකෙරෙන බුදුපිළිම පිළිබඳ ප්‍රශ්නය එවන් එකකි.

බුදුන්ටත් වඩා බුදු බව ලැබු සේ පෙනී ඉන්නා ජාතිවාදී නඩ විසින් කරන මෙවන් අත්තනෝමතික ක්‍රියාවන් බුදුදහමට කෙතරම් පටහැනිය යන්න පෙන්වාදීමට දකුණේ ගිහි පැවිදි බුද්ධිමතුන් ඉදිරිපත් වීම අත්‍යවශ්‍යය. අනෙකා ඉවසීම ගැන අපට හොඳම පාඩම් කියා දුන්නේ බුදුන් වහන්සේ බව බෞද්ධ ඉගැන්වීම් හරහා මතු කිරීමේ වගකීම ඇත්තේ බුද්ධිමත් බෞද්ධයන්ටයමය. සෑම රජයේ කාර්යාලයකටම බුදුපිළිම වඩම්මා පොදු මහජන අවකාශයක් ආගමිකකරණය කිරීම මෙන්ම කඳවුරක් ගානේ බුදුපිළිම ඉදිකර මිලිටරිය බෞද්ධකරණය කිරීම සඳහා කල්පනා කරන්නන් සියල්ලටම පළමුව කළ යුත්තේ එදා බුදුන්වහන්සේ ඉන්දියාවේ සිය දහම මිනිසුන් කරා ගෙන ගිය ආකාරය සිහි කිරීම මෙන්ම යුද්ධය පැවති මුළු කාලය පුරාම උතුරේ බෞද්ධ භික්ෂුවක් දෙමළ ප්‍රජාව ඇසුරේ යහතින් වැඩ වාසය කළ බවත් සිහි කිරීමයි.

අප වහා කළ යුතුව ඇත්තේ ගල් අතට ගැනීම නොව උතුරේ ඉල්ලීම් දකුණේ සංවාද මේසයට ගෙන ඒමයි. සැබෑ ජාතික සමගියක මග අපට හෙළි කරගත හැක්කේ එවිටය. අනෙක් අතින් දකුණේ මෙන්ම උතුරේ විග්නේශ්වරන් ඇතුළුව සියලුම දේශපාලකයන් සහ අනෙක් සිවිල් ව්‍යාපාර ඉක්මනින්ම තැබිය යුතු තවත් පියවරක්ද තිබේ. ඒ උතුරේ සහ දකුණේ වෙන් වෙන්ව කරන ප්‍රාදේශික අරගල වහා නවතා රටේ සියලු ප්‍රජාවන්ගේ අනාගතය වෙනුවෙන් තනි එමෙන්ම දැවැන්ත අරගලයක් සඳහා වන ජනතා බලයක් ගොඩනැගීමයි. සියලුම ජාතිවාදීන්ට මෙන්ම ආගමික අන්තවාදීන්ටද අපට දිය හැකි හොඳම පිළිතුර එයයි.

මුලාශ්‍ර‍ය රාවය

One thought on “දෙමළාගේ ප්‍ර‍ශ්නය වෙනුවෙන් මැදිහත්වීම.

  1. සම්පත් says:

    ජනවාරි අට තමයි ජාතිවාදීන් ටික ඔලුව උස්සන්න පටන් ගත්ත දවස. දැන් නම් නටන නැටිල්ල ඕනවට වැඩියි. නැටිලි කලමනාකරණය කරන්න රජයට වැඩපිලිවෙලක් නෑ. ආණ්ඩුව කරන ගොන් වැඩ ජනතාව ඉවසන තෙක් ඔහොම යයි. උතුරේ දෙමළ ජාතිවාදී නායකයන්ව කර උඩ තියා ගැනීම නිසයි මෙහෙම වුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com