දෙමළ සමාජය ජාතිවාදයෙන් මුදාගැනීම.

Oct 1, 2016
saminadan-wimal

සංහිඳියාව සඳහා වන මූලික කොන්දේසියක් බවට ලාංකේය සමාජය ජාතිවාදිහරණය කිරීම සඳහන් කළ හැකිය. එහෙයින් එය ලාංකේය සමාජයෙහි සංහිඳියාව සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙසින් සැලකීම නිවැරදිය. එහෙයින් සංහිඳියාව සඳහා වන උත්සාහයන් සමාජයෙහි විවිධ ස්තරයන් තුළ විවිධ ක්‍රියාමාර්ග මාර්ගයෙන් සිදු කිරීමට සිදුවන අතර එය එකී සමාජයන් තුළ තනි තනිවත් සමස්තයක් වශයෙන් ඒකාබද්ධවත් ක්‍රියාත්මක විය යුතුය යන්න මගේ අදහසයි. මෙහිදී මගේ අවධානය යොමු කෙරෙන්නේ දෙමළ සමාජයට අදාළව මෙම කාර්යය වඩාත් බැරෑරුම් අභියෝගයක්ව ඇති ආකාරය පිළිබඳවයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ සංහිඳියාව සහ එයින් අපේක්ෂිත තවත් එක් අරමුණක් වන ජාතික සමඟිය යන්න ඉතාමත් අත්‍යවශ්‍ය බවට වන හැඟීමක් හෝ අවධාරණයක් දෙමළ සමාජයෙහි අධිපති දේශපාලන ක්‍රියාකාරිත්වය විසින් ප්‍රකට නොවීමයි. මෙම අධිපති දේශපාලනය ඒ වෙනුවට පසමිතුරු දේශපාලන ක්‍රියාවලියම තවදුරටත් ඉදිරියට ගෙන යමින් තිබෙයි.

එපමණක් නොව සංහිඳියාව සහ ජාතික සමඟිය වැනි සංකල්ප හෝ යථාර්ථයන් තම දේශපාලන ව්‍යාපෘතියට තර්ජනයක් වශයෙන් සලකන බව පෙනෙන්නට තිබෙයි. මෙය උතුරු දේශපාලන ප්‍රධානීහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. යුද්ධ අපරාධකරුවන්ට දඩුවම් දීම, හමුදාව ඉවත් කිරීම හා දේශපාලන විසඳුමක් ලබාදීම වැනි කොන්දේසි ඉටු නොකර සංහිඳියාව පිළිබඳව කතා කිරීම අනවශ්‍යය යන්න මෙම දේශපාලන ක්‍රියාකාරිත්වය පෙන්නුම් කර සිටියි. මෙය මේ වන විට පවතින තත්ත්වය වන අතර බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් වන්නේ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමකි. හිටපු කොටි සාමාජිකයන්ට පුනරුත්ථාපනයෙහිදී විෂ එන්නත් කර ඇති බවත් එමනිසා පුනරුත්ථාපනයෙන් පසුව ඔවුන් රෝගීබවට සහ හදිසි මරණයට පත් වන බවට මතුව පවතින ප්‍රශ්නය මෙන්ම පැරණි පොංගු තමිල් වර්ගයෙහි වැඩසටහනක් පැවැත්වීමට දෙමළ ජාතික සභාව කටයුතු කරමින් සිටීම මෙම තත්ත්වයෙහි පැහැදිලි ලකුණුය.

මෙම තත්ත්වය ජය ගත හැක්කේ කෙසේද යන්න දෙමළ සමාජයට ප්‍රශ්නයක් නොමැත. එයට හේතුව එවැනි වෙනසක් තුළින් තමන්ට ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳව අවබෝධයක් සාමාන්‍ය ජනයා තුළ නොමැතිකම ය. උතුරු පළාතේ ජනයාට සිංහල ජනයා සමඟ සහයෝගයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවය යනු එදිනෙදා ජීවිතය සමඟ එතරම් සම්බන්ධ දෙයක් නොවන අතර උතුරට ආගන්තුකයන් ලෙස පැමිණෙන සිංහලයන් සමඟ එවැනි සම්බන්ධයක් ආගන්තුක ය. අනෙක් අතට දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර සංහිඳියාව යන්න බොහෝ විට අත්හැර දැමූ දෙයක් බවට පත්ව ඇත. අනෙක් අතට සංහිඳියාව හෝ ජාතික සමඟිය යන්න අධිපති දෙමළ දේශපාලනයට අනවශ්‍ය දෙයක් වන අතර එය තම දේශපාලන ව්‍යාපෘතියට බලවත් තර්ජනයක් ලෙස සැලකීමද එනයින් බලාපොරොත්තු විය හැකි දෙයකි.

දෙමළ සමාජයෙහි මාධ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයද ඇත්තෙන්ම පවතින තත්ත්වය තුළ ජාතිවාදහරණය වැනි ක්‍රියාකාරිත්වයකට දක්වන්නේ අවම දායකත්වයකි. එහෙයින් විකල්ප දේශපාලන ක්‍රියාකාරිත්වයක් ලෙසින් ක්‍රියාත්මක වන විභවයන් ඇත්තේම නැති තරම් යැයි කිව හැකි තරමට බෙලහීන තත්ත්වයක පවතියි. සිංහල සමාජය තුළ ජාතිවාදහරණය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන් සහ සංවිධානවල ක්‍රියාකාරීත්වය උතුරෙහි පවතින සම්බන්ධතා වලට පවා සිංහල ජාතිවාදය පිළිබඳව සාධක සපයා ගැනීමට හේතුකාරකව පවතිනවා මිස දෙමළ සමාජය තුළ ජාතිවාදහරණ ක්‍රියාකාරකයන් නිර්මාණය කිරීමට දක්වා ඇත්තේ ඉතාමත් අල්ප දායකත්වයකි. දෙමළ සමාජයෙහි ජාතිවාදීහරණය යනු අනිවාර්යෙන්ම ජයගත යුතුව පවතින අභියෝගයක් වන්නේ එය හුදු දෙමළ සමාජයට පමණක් අදාළ කරුණක් නොව ලංකාවෙහි අතිවිශාල ජනගහනයකින් යුතු සිංහල ජනයාගේ මනස තුළ පවතින ජාතිවාදයට හිතකර පරිසරය ඉවත් කිරීමටද එය ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් වන හෙයින්ය.

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා සමබිමට තබන ලද සටහනකි.

One thought on “දෙමළ සමාජය ජාතිවාදයෙන් මුදාගැනීම.

  1. කුමාර says:

    දෙමළ සමාජයෙහි මාධ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයද ඇත්තෙන්ම පවතින තත්ත්වය තුළ ජාතිවාදහරණය වැනි ක්‍රියාකාරිත්වයකට දක්වන්නේ අවම දායකත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com