දේශප්‍රේමී අමුඩය

Sep 3, 2016
MR-May-Day

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ජනතාව ඉතා පැහැදිළි ලෙසම කොටස් දෙකකට වර්ග කරන ලදී. එනම් දේශපේ‍්‍රමීන් හා දේශද්‍රෝහීන් යනුවෙනි. ඔහු මෙම වර්ගීකරණය සිදුකළේ 2009 වසරේ උතුරේ පැවති අවසන් යුද ගැටුමේදී වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනය වීමෙන් පසු ලද ජයග‍්‍රහණය ජාතිය හමුවේ ප‍්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිදුකළ විශේෂ කතාවේදීය. එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එම බෙදා දැක්වීමට අර්ථ නිරූපණයක්ද ලබාදෙන ලදී. එනම් මින් ඉදිරියට රට තුළ සිටිනු ඇත්තේ දේශයට ආදරය කරන පුද්ගලයින් හා දේශයට ආදරය නොකරන පුද්ගලයන් පමණක්ය යන්නය. දේශපේ‍්‍රමීයා යනු විශේෂයෙන්ම ඒ දිනවල ඉතා බහුල ලෙස සමාජය තුළ භාවිතයට ලක්වු වචනයක් විය.

එල්ටීටීඊ සංවිධානයේ මිලේච්ඡ ක‍්‍රියාකාරීත්වයන් පරාජය කිරීම සඳහා දිවි නොතකා සටනට පිවිස අභීත සංග‍්‍රාමයක නිරත වු ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන් සැලකුම් ලැබුවේද දේශපේ‍්‍රමීත්වය පෙරටු කොටගත් උදාර අරමුණක නියැලි පිරිසක් ලෙසය. ලංකාව ත‍්‍රස්තවාදයෙන් මුදාගැනීම සඳහා ඔවුන් සිදුකළ පරිත්‍යාගයන් කැපකිරීම් හා දක්වන ලද නිර්භීතභාවය හමුවේ සත්‍ය වශයෙන්ම ඔවුන් වෙතින් ප‍්‍රදර්ශනය වුයේ දේශපේ‍්‍රමීත්වයයි. ඊට කිසිදු සැකයක් නැත. එහෙත් අවාසනාවකට මෙන් මෙරට සැබෑ රණවිරුවන් සිදුකළ කැපවීම් හා පරිත්‍යාගයන්ගෙ අස්වැන්න පසුකලෙක දේශපාලකයන් නෙලාගැනීමට උත්සාහ කරන ලද්දේ තමන්ගේ බලය වෙනුවෙනි. තමන්ගේ පරපුරේ අනාගත පැවැත්ම වෙනුවෙනි. එහිදී ඔවුන්ට අනුගත පිරිස දේශපේ‍්‍රමීන් ලෙසද ඔවුනට අවනක නොවන අය දේශද්‍රෝහීන් ලෙසද වර්ග කළේය.

සිංහල භාෂාව පිළිබඳ මහා විශාරදයෙකු මෙන්ම මහා සිංහල භූමිපුත‍්‍ර පක්ෂයේ නිර්මාතෘවරයාද වන ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ මහා සිංහල ශබ්ද කෝෂයට අනුව දේශපේ‍්‍රමියා යනු තමන්ගේ රටට ඇල්මක් ඇති පුද්ගලයාය. දේශමාමකයා යනු රට මගේ යන හැඟීමක් ඇති කෙනාය. දේශවාත්සල්‍යය යනු රට ගැන ඇති ඇල්මය. ඊට අනුව මෙම අරුත් සලකා බැලීමේදී මතුවන ප‍්‍රශ්නයක් වන්නේ එම අරුත් මුල් කරගනිමින් මෙරට ජනතාව වර්ග කිරීමට උත්සාහ කළ අය එසේ කර ඇත්තේ ඊට අදාළ ගුණාංගයන්ගෙන් යුත් එම හැඟීම් තුළ කටයුතු කළ නිසාද එසේ නැතහොත් පටු බලකාමය තුළ එම වචන සමාජ ගතකර ලංකාවේ ජනසමාජය බෙදන්නට උත්සාහ කළ නිසාද යන්න සලකා බැලීමේදීය.

ඔවුන්ගේ කියුම් කෙරුම් හා සමාජගත කරන්නට උත්සාහ කළ ලේබල් පිළිබඳව කල්පනා කිරීමට හේතු වන ප‍්‍රකාශයක් පසුගියදා දේශපාලනඥයෙකු පාර්ලිමේන්තුව තුළ සිදුකර තිබුණි. එම ප්‍රකාශය කරන ලද්දේ විපක්ෂ නායක වන ආර්. සම්බන්ධන් විසිනි. විපක්ෂ නායකවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ යුද්ධය අවසන් වීමත් සමග අත්අඩංගුවට පත් එල්ටීටීඊ සාමාජිකයන් එකළොස්දහසක් පමණ පුනරුත්ථාපනය කර නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කටයුතු කළද මෛත‍්‍රී රනිල් ආණ්ඩුවට මාස දහඅටක් ගත වී ඇතත් ඉතිරි වී සිටින එල්ටීටීඊ රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කර නැති බවය. එම ප්‍රකාශය සියයට සියයක් නිවැරදිය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අවසන් වසර පහක කාලය තුළ නිදහස් කරන ලද එල්ටීටීඊ සමාජිකයන්ගේ ප‍්‍රමාණය එකලොස්දහසක් වු බව සත්‍යයකි.

ඔවුන්ගෙන් අති බහුතරයකට චෝදනා පත‍්‍රයක් පවා ඉදිරිපත් කර නොතිබිණි. එහෙත් සම්බන්ධන් මහතා කියන දැනට රදවාගෙන සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සීමිත පිරිසගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයකට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ. ඊට අනුව ඔවුන්ගේ නිදහස පිළිබඳව තීන්දු කළයුතුව ඇත්තේ උත්තරීතර අධිකරණය විසිනි. එමෙන්ම චෝදනා ඉදිරිපත් කර නැති අනෙක් පිරිස අතරින් චෝදනා ගොණු කිරීමට තරම් සාක්ෂි නැති පිරිස යුක්තියේ නාමයෙන් මුදාහැරිය යුතුව ඇති බවද පිළිගත යුතුය. එහෙත් පසුගිය කාලවකවානුවේ ඊට උත්සාහ කළ අවස්ථා දෙක තුනකදීම ආණ්ඩුවට එරෙහිව දේශද්‍රෝහී ලේබලය ඇලවීමට උත්සාහ කළ පිරිසක්ද මෙරට සිටියහ.

එනම් එල්ටීටීඊ සාමාජිකයන් එකළොස්දහසක් නිදහස් කිරීමට කටයුතු කළ තමන් දේශපේ‍්‍රමීන් ලෙස හදුන්වා ගන්නා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ අනුගාමිකයන්ය. එහෙත් රටක් ලෙස නිවැරදි තීන්දු ගැනීමේදී අවස්ථාවාදීන්ගේ පටු ලේබල් වලට කිසිවෙකු බිය විය යුතු නැත. විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දී ඇත්තේ ඉතා සංවේදී ප‍්‍රශ්නයකි. ඔවුන් වෙතද යුක්තිය ඉටුවිය යුතුය. තමාගේ රටට ආදරයක් ඇති, රට මගේය යන හැඟීමක් සහිත, රට ගැන ඇල්මකින් යුත් කිසිදු නායකයෙක් හෝ ආණ්ඩුවක් තම රටේ පුරවැසි කණ්ඩායමකට අගතියක්, අයුක්තියක් හෝ අසාධාරණයක් සිදුවීමට ඉඩක් තැබිය යුතු නොවේ. දේශපේ‍්‍රමීත්වය යනු එයයි. දේශමාමක සහ දේශවාත්සල්‍යයයෙන් යුතු කිසිවෙකු විසින් එවන් අගතියක් කිසිවෙකුට සිදුනොකරනු ඇත.

සුනිල් ජයසේකර නිල් දියවර වෙබ් අඩවියට තබන ලද සටහනට ඡායාරූපය ෂෙහාන් ගුණසේකරගෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com