මත්වීම ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් හැටියට

Dec 22, 2015
Thai-monk-smoking

මත්වීම ගැන රාජ්‍යයට තියෙන අවුල ප්‍රධාන වශයෙන් බදු එක්ක සම්බන්ධයි. කසිප්පු තහනම් කරන්නයි අරක්කු නිදහස් කරන්නයි හේතුව එයයි. රාජ්‍යයක් පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නෙ ලේසියෙන් පාලනය කරන්නට හැකි මහජනතාවක්. තනි තනි පුරවැසියො සහ හිතන මිනිස්සු ඉන්න එක ආණ්ඩුවට කරදරයක්. මත්වීම කියන්නෙ පුද්ගල උවමනාවක්. එය සාමූහික උවමනාවක් නෙමෙයි. ඇත්ත පුද්ගල උවමනා රජයකට හරි භයානකයි. මොකද එම උවමනාවන් හැමතිස්සෙම ඔබ තනි පුද්ගලයෙක් වග ඔබටම මතක් කරන නිසා. එතකොට ඔබ මහජනතාව කියන රොත්තෙන් එළියට එනවා. මතට තිත ලංකාවෙ රජයෙ ප්‍රධාන ප්‍රතිපත්තිය වෙලා තියෙන කොට පුරවැසියෙක් හැටියට මට මත්වීම ගැන කියන්න වෙනස් කතාවක් ඉතුරු වෙලා තියෙනවා.

ජීවිතය කඩාගෙන හැලෙන වේගය දරා ගන්න අමාරුයි. දවසකට මොළේ ඇතුලෙන් හුවමාරු වෙන තරංග ප්‍ර‍මාණය දරා ගන්න අමාරුයි. මෙම වේගය ජීවිතයෙ අසහනයක් ඇති කරනවා. එම අසහනය පියවන්න මොහොතක හරි සංසුන් බවක් දෙන්න පුළුවන් ස්වභාවික විදියක් නැහැ. භාවනා කරන්න, නිදහසේ චාරිකාවක් යන්න වගේ සෝබන කතා ඇත්තට කරන්න අමාරුයි. පැය විසි හතරක් ඇතුලෙ ගොඩක් දේවල් කරන්න වෙලා. එකම ක්‍රමයයි ප්‍රායෝගිකව තියෙන්නෙ. එය රසායනික මත්වීම. ස්නායු අතර තරලයෙන් දත්ත හුවමාරු කරන වේගය කෘතිමව පාලනය කරන එක. කාලය සහ අවකාශය පිළිබඳ සිහිනමය නිමේෂයකට මොහොතකට මාරු වෙන එක. මෙය අධ්‍යාත්මික අවශ්‍යතාවයක්. විමුක්තිය පිළිබඳ හැගීමක්. මොහොතකට හෝ යතාර්ථය වශයෙන් පෙනී සිටින විකාරරූපී අධිවේගී ලෝකයෙන් මිදීමට ඇති නිරාමිස ප්‍රවේශයක්.

යම් පුද්ගලයෙක් අරක්කු බීමෙන් හෝ වෙනත් මත්වීමකින් අපරාධ කරනවා යැයි කීම මෝඩ කතාවක්. කෙනෙක් අතින් අපරාධ වෙනවා නම් ඊට හේතු වෙන්නේ ඔහුගේ සමාජ ජීවිතය විසින් ඔහුට දෙන පීඩනය මත්ද්‍රව්‍ය නිසා නිදහස් වීමයි. මත්වීමේදී ඔහු සමාජය පිළිබඳ වෛරය මුදා හැරීමයි. ඊට අනුව මත්වීම යනු ඔහුගේ ජීවිතයෙ ඔහුට ඇති එකම අවංක මොහොතයි. කවර හෝ මත්ද්‍රව්‍යක් පාවිච්චි කරන්නෙක් එම මත්ද්‍රව්‍යයෙන් ඉල්ලා සිටින්නේ ඉතා අහිංසක දෙයක්. මුදල් හෝ සුපිරි ජීවිත නොවෙයි. මත්වීම වෙනුවෙන් ඔහු හෝ ඇය එම සියල්ල කැප කරයි. ඇත්තෙන්ම මත්වීමේදී කෙනෙක් ඉල්ලා සිටින්නේ කුමක්ද? තමන්ට අවංක, තමන්ට අහිමි, තමන්ගෙ මරණය තෙක් වියෝ දුකින් විඳවන සහ සමාජය විසින් මරා දැමු ඔහුගෙ හෝ ඇයගෙ ඇත්ත ජීවිතයයි. ජීවිතයට වඩා ඊට පැවැත්ම යැයි කීම ගැලපෙයි. තමන්ට අහිමි පැවැත්මේ නිදහසයි. සිංදු කියමින් නටමින්, කෑ ගසමින් පෙරලි කරන්නෙත් විනෝදය නෙවෙයි. එය ප්‍රමෝදයයි. මොහොතකට හෝ නිදහස් වීම, ලිහිල් වීම ගැන උදාන වාක්‍යයයි ඔවුන් කියන්නෙ.

අපරාධ සහ මත්වීම අතර සම්බන්ධයක් ඔප්පු කළ නොහැකියි. මත්වීම යනු ඔබ තුල ඇති දෙය නිදහස් කිරීමක් මිස ඔබ තුල නැති දෙයක් ඇති කිරීමක් නෙවෙයි. අපරාධකරුවෙක් තත්වයට ඔබේ මනස සමාජය විසින් පිරිහෙලා ඇත්නම් එම අපරාධකරුවා මත්වීමේදී නිදහස ලබනවා. අහිංසකව සරලව සියලු වේදනා සමාජය වෙත නැවත දමා ගසනවා. එය භයානක වෙන්නට පුළුවන්. නමුත් එය කෙනෙකුට ගත කරන්නට බල කර ඇති ජීවිතය විසින් නිර්මාණය කළ යක්ෂයායි. සැබෑවයි. ඔබ අපරාධකරුවෙක් නම් මත්වු විට ඔබ මිනීමරනු ඇති. ඔබ සල්ලාලයෙක් නම් මත් වු විට ඔබ සල්ලාලයෙකු ලෙස හැසිරෙනු ඇති. ඔබ දුකෙන් නම් මත් වු විට ඔබ අඩනු ඇති. ඔබ සතුටෙන් නම් මත්වු විට ඔබ සිනාසෙනු ඇති. ඔබ සාන්තුවරයෙක් නම් මත්වීමෙන් ඔබට කිසිවක් සිදු නොවනු ඇති.

මත්වීම යනු භාවනාව පරිදිම ප්‍රකෘතියට යන කෙටි මාවතක්. එය තාවකාලිකයි. කෘතිමයි. නමුත් එයින් ඔබව පීඩාකාරී තත්වයන් තුල වුවත් ප්‍රකෘතිය හා සම්බන්ධ කර තබනවා. මත්වීම ඔබ සුන්දර මිනිසෙක් කරනවා. එය ශරීර සෞඛ්‍යයට හානි කරයි. ඔබට ඉක්මන් මරණය අත් කරදෙයි. අනිවාර්යෙන්ම. නමුත් මත්වීමට එරෙහි වෙමින් සුරාවෙන් සූදුවෙන් තොරව ජීවත් වන හොඳ මිනිසුන්ට වඩා අව්‍යාජ ජීවිතයක් මත්වීමෙන් මියයන්නාට උරුමයි. මත්වීම නරක ලෙස දකිමින් කන්න විතරක් සල්ලි හොයන හොඳ අය ඔප්පු කරන්නෙ එකම සත්‍යයක්. එනම් මෙම සමාජය, වේගය, අහිමි වීම, විකෘතිය ඔවුන්ට ස්වභාවික බවයි. ක්‍රමයට අනුගතවනවා හැරෙන්නට විකල්පයක් ඔවුන් නොදන්නා බවයි. මත්වීමෙන් මිය නොගොස් ඔවුන් ජීවත් කරන්නෙ බොහෝ කාලයකට පෙර මිය ගිය මල මිනියක්. මත්වීම භාවනාවක්. එය විමුක්තිය කියලා මම කියන්නේ නැහැ. නමුත්‍ එය විමුක්ති මාර්ගයක්. කලාතුරකින් හෝ ඔබේ හුදකලා වේදනා විඳින සැබෑ පැවැත්ම මුණගැසෙන එක් නිමේෂයක්.

මූලාශ්‍රය චින්තන ධර්මදාස මහතාගෙ කල්ට් වෙබ් අඩවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com