යහපාලිත සමාජයක සන්ක්‍රාන්ති යුක්තිය

Jan 21, 2017
LGBT-B&W

​කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයීය මුද්‍රණාලයෙන් ප‍්‍රකාශයට පත් කරන ලද මනෝ වෛද්‍ය විද්‍යා සඟරාව විසින් 2014 දී කරන ලද විප්ලවීය අධ්‍යයනයකින් පෙන්වා දුන් පරිදි පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය විශාල වශයෙන් තීන්දු කෙරෙන්නේ ජාන මගින් මිස කෙනෙකුගේ පෞද්ගලික තේරීමකින් නොවේ. එමඟින් කාන්තා සමලිංගිකත්වයට, පුරුෂ සමලිංගිකත්වයට, ද්විලිංගිකත්වයට, වෙනස් ලිංගිකත්වයට සහ අන්තර් ලිංගිකත්වයට එරෙහිව එල්ල වන ප‍්‍රධාන චෝදනාවක් වන ඔවුන් අස්වාභාවිකව ජීවත් වීමට කැමැත්තෙන් පෙළඹී ඇතැයි යන්න නිෂ්ප‍්‍රභා කෙරේ. පිරිමියෙකු හෝ ගැහැනියක වීම යන කාරණය සමඟ බැඳුණු ගුණාංග, අවස්ථා සහ සම්බන්ධතා වනාහී සමාජ නිර්මිතයන් ය. එසේ හෙයින් එම තත්වයන්ට පැවරෙන වගකීම් සහ භාර කෙරෙන ක‍්‍රියාකාරකම් ගැහැනිය සහ පිරිමියා අනුව වෙනස් වෙයි. අසමාන වෙයි. ස්වකීය ජෛව මාපියන් විසින් ප‍්‍රතික්ෂේප කෙරෙන වෙනස් ලිංගිකයන් බොහොමයකට නිසි අධ්‍යාපනයක් නොලැබෙයි. එහෙයින් රැකියාවක් සොයා ගැනීමට ඔවුහු අපොහොසත් වෙති. එහි ප‍්‍රතිඵලය වන්නේ බොහෝදෙනා හිඟමනට වැටීමත් තවත් අය ජීවිකාව සඳහා ලිංගික සේවාවන්ට යොමු වීමත් ය.

කොන් නොකිරීම

මීට වසරකට පෙර වෙනස් ලිංගික ක‍්‍රියාකාරිනියක් වන විජයරාජ මල්ලිකාගේ නායකත්වයෙන් ඉන්දියානු වෙනස් ලිංගික කණ්ඩායමක් පාසල් අධ්‍යාපනයෙන් විසි වුණු වෙනස් ලිංගිකයන්ගේ අභිවෘද්ධිය තකා පාසලක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් පටන් ගත්හ. ඔවුන්ගේ එම සිහිනය මල්ඵල ගැන්වුණි. විධිමත් අධ්‍යාපනය අහිමි වු වෙනස් ලිංගිකයන් සඳහා වන මෙම පාසලට ප‍්‍රාන්ත දේශපාලඥයන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණි. ඊට හේතු වුයේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2015 දී දෙන ලද ඓතිහාසික තීන්දුවකි. එනම් වෙනස් ලිංගික ප‍්‍රජාව තෙවැනි ලිංගිකත්වයක්’ වශයෙන් අධිකරණ විනිශ්චය තුළින් පිළිගැනීමයි. දීර්ඝ කාලයක් තිස්සේ සමාජය විසින් පිටමං කොට තිබු වෙනස් ලිංගික ප‍්‍රජාවට මෙකී විනිශ්චය මගින් නෛතික භාවයක් ලැබුණි. මේ සමගම 2016 දී ඉන්දීය ආණ්ඩුවේ සමාජ සාධාරණත්වය සහ සමාජ බලගැන්වීම පිළිබඳ අමාත්‍යාංශය මගින් වෙනස් ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කෙටුම්පත ගෙනාවේය.

සමාජයේ වෙසෙන වෙනස් ලිංගිකයන් සමාජය තුළට ගොනු කර ගැනීම එහි අරමුණ විය. එම වර්ධනයන් විසින් ධෛර්යමත් කරන ලදුව ඉන්දියාවේ වෙනස් ලිංගිකයන් සඳහා වන ප‍්‍රථම නේවාසික විදුහල 2016 දෙසැම්බර් මාසයේ කේරලයේ කොචි ප‍්‍රදේශයේ විවෘත කෙරුණි. එය සහාජ් ජාත්‍යන්තර පාසල යනුවෙන් නම් විය. දිසාපතිවරයාගේ අනුග‍්‍රහයෙන් පැවැත්වු සමාරම්භක උළෙලට කීර්තිමත් ඉන්දියානු වෙනස් ලිංගික ක‍්‍රියාකාරිනියක් සහ කලාකාරියක් වන කල්කි සුබ‍්‍රමානියම් සහභාගී වුවාය. සිය දේශනයේදී ඇය පෙන්වා දුන් පරිදි සමාජයෙන් කොන් වු ඕනෑම ප‍්‍රජාවකට නැගී සිටිය හැකි ප‍්‍රධාන අවිය වන්නේ අධ්‍යාපනයයි. මන්දයත් සුන්දර ජීවිතයක් සඳහා අවශ්‍ය කරන ආලෝකය, දැනුම සහ විශ්වාසය එමගින් සැපයෙන බැවිනි. මෙවැනි පාසලක් විවෘත කිරීම අධ්‍යාපනය තුළින් වෙනස් ලිංගික ප‍්‍රජාවන් සමාජ පිළිගැනීමකට ලක්කිරීමේ ආදර්ශය වෙනත් ඉන්දීයා ප‍්‍රාන්ත රාජ්‍යයන්ටත් සැපයෙන බව ඇය කියා සිටියාය.

ඉන්දියාවේ සමාජ සාධාරණත්වය සහ බලගැන්වීම පිළිබඳ අමාත්‍යාංශය යටතේ එම දෙපාර්තමේන්තු විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව කේරල ප‍්‍රාන්තයේ විසිබනදහසකට අධික වෙනස් ලිංගික ප‍්‍රජාවක් ජීවත් වෙති. මොවුන්ගේ ලිංගික අනන්‍යතා පිළිබඳ දුෂ්කරතාවන් හේතුවෙන් ඔවුන්ගෙන් සියයට පනස් අටකට අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට හැකි වී නැත. වෙනස් ලිංගිකයන් සඳහා වන ප‍්‍රතිපත්තියක් පිළිගත් ප‍්‍රථම ඉන්දියානු ප‍්‍රාන්ත රාජ්‍යය කේරලයයි. මොවුන් සඳහා අධ්‍යාපනය ලබා දීමට ගත් මෙම පියවර නිසා ඔවුන්ට පමණක් නොව ඉහතින් සඳහන් කළ ප්‍ර‍ජාවට අයත් සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව සලකා බැලීමට වෙනත් ප‍්‍රාන්ත රාජ්‍යයන්ට සේම සෙසු ලෝකයාටත් ධෛර්යයක් සපයනු ඇත. කෙසේ වෙතත් තෙවැනි ලිංගිකත්වයක් පිළිගත් ප‍්‍රථම රට ඉන්දියාව නොවේ. ඊට කලින් 2007 දී නේපාලයත්, 2013 දී බංගලාදේශයත් එම ප‍්‍රතිපත්තිය නීතියෙන් පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ තත්වය

පීතෘ මුලික සමාජ පද්ධතියක් සහිත ශ‍්‍රී ලංකාව ගැන සළකා බලන විට ලිංගික සමානත්වය විවාදයට තුඩුදෙන කාරණයක් වුවත් ශී‍්‍ර ලාංකීය සමකාමී ප‍්‍රජාව ඊට අඛණ්ඩව අරගල කරති. කෙනෙකුගේ ජන්ම ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ පැහැදිළි නෛතික මාර්ගයක් ශ‍්‍රී ලංකාවේ නීතිය තුළ නැත. එහෙත් ලිංගිකත්වය පිළිගැනීමේ ක‍්‍රියාවලිය දැනට සැළකිල්ලට ලක්වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ වෙසෙන වෙනස් ලිංගිකයන් අත්විඳින හිංසනය සහ කොන් කිරීම ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ගිය වසරේ ඉදිරිපත් කළ වාර්තාවෙන් එය සනාථ කෙරේ. 2015 ඔක්තෝබර් මාසයේ සිට 2016 ජනවාරි මාසය දක්වා එම සංවිධානය විසින් ලංකාවේ නගර හතරක් තුළ සමකාමී පුද්ගලයන් හැටඑක් දෙනෙකු ආශ‍්‍රයෙන් කරන ලද සම්මුඛ සාකච්ඡා හරහා කළ අධ්‍යයනය මත පදනම් වු වාර්තාව මඟින් ලංකාවේ වෙනස් ලිංගිකයන්ගේ අයිතීන් පවතින නීති පද්ධතිය තුළ ආරක්ෂා නොකෙරෙන බව පෙන්වාදෙයි.

අනුමැතිය ඇති වැඩිහිටියන් දෙන්නෙකු අතරේ සිදුවන සමලිංගික සම්බන්ධතා අපරාධයක් කොට සැළකෙන ලංකා දණ්ඩනීති සංග‍්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිත්, වෙනස් ලිංගිකයන් සහ ලිංගික සේවකයන් අපරාධකරුවන් වශයෙන් සැළකෙන පාදඩ ආඥා පනතත් අහෝසි කරන්නැයි මෙම වාර්තාව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී. ලිංගික අනන්‍යතා සහ ලිංගික නැමියාවන් මත වෙනස් කොට සැළකීමට ලක්කෙරෙන තත්වය වෙනස් කෙරෙන පුළුල් නීති ගෙන එන්නැයි එම වාර්තාව තවදුරටත් නිර්දේශ කරයි. මේ විවාදාපන්න මාතෘකාව ගැන කතා කරන ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහීම් මෙන්ඩිස් කියන පරිදි ලංකාවේ වෙසෙන සමකාමී ප‍්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කරදීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ කාලය එළැඹ තිබේ. හැම ආකාරයකම කොන් කොට සැළකීම් අවසන් කෙරෙන ප‍්‍රගතිගාමී නීතිරීති වහා ගෙන ඒමට පියවර ගත යුතු කාලය එළැඹ ඇති බව ඔහුගේ අදහසයි.

මානව උදාහරණයක්

ඉන්දියාවේ කේරලයේ තිසූර් ප‍්‍රදේශයේදී ෆයිසාල් උපන්නේ පිරිමි දරුවෙකු වශයෙනි. එහෙත් කෙමෙන් වැඩෙද්දී තමා තුළ ගැහැනු ගති ලක්ෂණ ඇතැයි ඔහුට වැටහිණ. ඔහු කණකර පැළඳීමට පටන් ගත්තේය. කොණ්ඩය වැව්වේය. මේකප් දැම්මේය. වර්ණවත් ඇඳුම් පැළඳුම් ඇන්දේය. ඔහුට අවශ්‍ය කෙළේ පිරිමි සිරුරක සිර වී සිටින තමාට ගැහැනියක ලෙස සෙස්සන් සළකනු දැකීමටයි. එහිදී තමාගේ පුරුෂ ලක්ෂණ වසන් කර ගැනීමට ඔහු මොන තරම් වීරිය කළත් සමාජය විසින් ඔහුව හඳුනා ගත්තේ පිරිමියෙකු වශයෙනි. පවුලේම සෙසු සාමාජිකයන් විසිනුත් පාසල විසිනුත් ඔහුව කොන් කෙළේය. උපන්නේ පිරිමියෙකු වශයෙන් නිසා ඊට අනුව ඔහු ජීවත් විය යුතු බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ කියා සිටියහ. පාසලේ දී මුහුණදීමට සිදුවු ඉවසා සිටිය නොහැකි කොන් කිරීම් නිසා පහේ පංතියෙන් පසු ඔහු ඉගෙනීම අත්හලේය. වයස දාහතරේ දී පවුලේ අයත් ඔහුව අත්හැරිය පසු ඔහු මහමගට වැටුණි. එවිට ලිංගික සේවකයෙකු වශයෙන් දිවි ගැටගසා ගැනීම හැර වෙන කරන්ට දෙයක් ඔහුට තිබුණේ නැත.

ජීවිතය කාලකන්නි වෙද්දී සියදිවි නසා ගන්නට තමාට සිතුණු බව ඔහු කියයි. කෙසේ වෙතත් ඔහුට වෙනත් වෙනස් ලිංගික කාන්තාවන් බොහොමයක් මුණගැසුණි. එතෙක් වෙනස් ලිංගික ප‍්‍රජාවක් යනුවෙන් දෙයක් පැවති බව පවා ඔහු දැන සිටියේ නැත. මානව හිමිකම් උල්ලංඝණයන්ට එරෙහි සමාජ ක‍්‍රියාකාරීත්වය තුළ අද වන විට ෆයිසාල් ප‍්‍රමුඛ චරිතයකි. වඩා යහපත් ඉන්දියාවක් ගොඩනගා ගැනීමට දායක වීම ඔහුගේ අභිලාෂයයි. රටේ ප‍්‍රසිද්ධ චරිතයක් බවට පත්වූ විට පවුලේ සාමාජිකයන් ඔහු කෙරෙහි වන ආකල්පය වෙනස් කර ගනිමින් ඔහුට සමීප වීමට බැලු බව ඔහු තවදුරටත් කීය. දකුණු ආසියාතික බොහෝ රටවල වෙනස් ලිංගිකයන්ගේ තත්වය විස්තර කරමින් ඔහු කියන්නේ එම රටවල එය තහනම් මාතෘකාවක් වී ඇති බවයි. කෙසේ වෙතත් ඉන්දියානු ආණ්ඩුව සහ අධිකරණය මගින් ගෙන ඇති ක‍්‍රියාමාර්ග නිසා සිය ප‍්‍රජාවේ අයිතීන් පිළිබඳ තමන්ගේ අපේක්ෂා ශක්තිමත් වී ඇතැයි ඔහු කියයි.

මුලාශ්‍ර‍ය කලම්බු ටෙලිග්‍රාෆ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com