රාජ්‍ය බලය සහ සන්නද්ධ අරගලය

Mar 4, 2017
Che

නූතන මාක්ස්වාදී පමණක් නොව මාක්ස් එංගල්ස් ලෙනින් වැනි සම්භාව්‍ය මාක්ස්වාදීන්ද රජය පිළිබඳ දරන ලද මතය වුයේ රජය වු කලි නිර්ධන පන්තියෙන් එල්ලවන අභියෝගයන්ගෙන් ධනපති පන්තිය ආරක්ෂා කරගැනීම සඳහා පවත්වාගෙන යන විශේෂ බල මණ්ඩලයක් බවය. ඊට අනුව රජයේ හමුදාවන් සැලකෙන්නේද එම අරමුණ වෙනුවෙන්ම පවත්වාගෙන යන අවිගත් මිනිසුන්ගෙන් සමන්විත විශේෂ බල මණ්ඩලයක් වශයෙනි. එමනිසා පාර්ලිමේන්තුව හා සර්වජන ඡන්ද බලය සැලකෙන්නේද ධනපති ක්‍රමයේ සැබෑ ස්වරූපය වසන් කිරීම සඳහා පවත්වාගෙන යන සටකපට දේවල් ලෙසය. අනෙක් අතට මාක්ස්වාදීන් රජය දකින්නේ හැමදා පවතින දෙයක් ලෙස නොව එක්තරා ඓතිහාසික අවස්ථාවකදී අභාවයට යන දෙයක් ලෙසය.

එංගල්ස් කියා තිබෙන්නේ මෙසේය: නිර්ධන පන්තිය රාජ්‍ය බලය සියතට ගෙන හැමටම පළමුව නිෂ්පාදන මාධ්‍යයන් රජයේ අයිතියට පවරයි. එහෙත් එසේ කිරීමේදී නිර්ධන පන්තිය පන්තියක් වශයෙන් තමන්වම අහෝසි කරගන්නා අතර සියලුම පන්ති විශේෂත්වයන් හා පන්ති ප්‍රතිවිරෝධතාද විනාශ කරමින් රජයක් හැටියට රජයද විනාශ කරයි. පන්ති ප්‍රතිවිරෝධතා මත මෙතෙක් ක්‍රියාත්මක වු සමාජයට රජයක් අවශ්‍ය විය. එයත් සමඟ එංගල්ස් කියන්නේ රජය ධනපති පන්තිය වෙනුවෙන් නොව මුළු මහත් සමාජයම වෙනුවෙන් පෙනීසිටින දාට රජය අනවශ්‍ය දෙයක් බවට පත්වන බවය. පාගා දැමීමට පන්තීන් නොතිබුණු දාට පන්ති අවශ්‍ය නොවන දාට වත්මන් ආකූල නිෂ්පාදන පැවැත්ම නිසා ඇතිවී තිබෙන පෞද්ගලික ගැටුමුත් එයින් පැනනගින සම්මත හා අතිරික්ත නිෂ්පාදනය ඉවත් කළ දාට පාගා දැමීමට කිසිවක් ඉතිරිවන්නේ නැත. එමනිසා විශේෂ මර්දනකාරී බලවේගයක් හෙවත් රජය තවදුරටත් අවශ්‍ය නොවේ.

රජය නියම වශයෙන් රජයේ නියෝජිතයා වශයෙන් කරන පළමුවැනි කාර්යය එනම් සමාජයේ නාමයෙන් නිෂ්පාදන මාධ්‍යයන් රජයට ගැනීම රජය රජයක් ලෙස කරන ස්වාධීන අවසාන කාර්යයද වන්නේය. එක අංශයක හෝ තවත් අංශයක හෝ සමාජමය සම්බන්ධකම්වලට අත දැමීම එවිට අනවශ්‍ය කාර්යයක් වන අතර රජය අතුරුදන් වී යනු ඇත. පුද්ගලයන්ගෙන් යුතු ආණ්ඩුවක් වෙනුවට නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවන සංවිධානයක් ඇතිවෙයි. රජය අහෝසි කරනු නොලැබේ. එය අභාවයට යයි. මාක්ස්වාදී මතය අනුව පාර්ලිමේන්තුව සැලකෙන්නේද ධනපති පන්තියේ උපකරණයක් ලෙසය. ලෙනින් මෙසේ කියා තිබේ: ධනපති පාර්ලිමේන්තුවේ නියම හරය වු කලි අවුරුදු කිහිපයකට වතාවක් පාර්ලිමේන්තුව තුළින් ජනතාව මර්දනය කරන්නේත් පෙළන්නේත් පාලක පන්තියේ කිනම් නියෝජිතයන් විසින්ද යන්න තීරණය කිරීමය. පාර්ලිමේන්තු ව්‍යවස්ථා ඇති රාජ්‍ය ආණ්ඩුවල පමණක් නොව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක් තුළද මෙය මෙසේ සිදුවේ.

මාක්ස්වාදී දර්ශනයට අනුව පාර්ලිමේන්තුවද ධනේශ්වර ආයතනයක් වන නිසා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමක් නියම රාජ්‍ය බලය අල්ලා ගැනීමක් ලෙස සැලකෙන්නේ නැත. නියම රාජ්‍ය බලය අල්ලා ගැනීමක් ලෙස සැලකෙන්නේ ධනපති පන්තියේ සන්නද්ධ බලයට එරෙහිව නිර්ධන පන්තිය සන්නද්ධ බලය යොදා රජය අල්ලා ගැනීමෙනි. එහිදී ජයග්‍රාහී නිර්ධන පන්තියට තිබුණු පැරණි රාජ්‍ය නිර්ධන පන්තියේ වුවමනාවන් සඳහා යොදාගත නොහැකිය. එය තමා බිඳ දමා විනාශ කර දැමිය යුතුය. ඒ වෙනුවට නිර්ධන පන්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනීසිටින නව රාජ්‍යයක් හා ඊට අවශ්‍ය යාන්ත්‍රණයක්ද ගොඩනගා ගත යුතුය. රාජ්‍ය හා රාජ්‍ය බලය අල්ලා ගැනීමට අදාළ මාක්ස්වාදයේ මත ඉගැන්වීම් රුසියාව චීනය වැනි සමහර රටවල අත්හදා බලන ලද බව අපි දනිමු. එය වෙනුවෙන් ගෙවන ලද වන්දිය අතිවිශාලය. ධනපතීන් හෝ ධනපති පන්තියට සේවය කරන සුළු ධනේශ්වරයන් ලෙස සලකා ලක්ෂ ගණනින් මිනිසුන් මරා දමන ලදි. ධනපති පන්තියේ දේපළ බලහත්කාරයෙන් රජයට පවරා ගනු ලැබීය.

අවසාන විග්‍රහයේදී එම හැම රටකම පාහේ සමාජවාදයේ නාමයෙන් බිහිවුණේ කුරිරු දූෂිත හා ඒකාධිපති රාජ්‍යයන් ය. සමාජවාදයේ නාමයෙන් එම රටවල සිදුකරන ලද අත්හදා බැලීම්වලට ආවේණික අවලස්සනම ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ පන්ති සතුරන් ලෙස සැලකෙන අය පමණක් නොව තමන්ගේම ව්‍යාපාරයේ මිනිසුන්ද විවිධ හේතූන් නිසා සතුරන් ලෙස සලකා ඝාතනය කිරීමය. ඔක්තෝබර විප්ලවයට උර දුන් නායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද මරා දමන ලදි. තවත් විශාල පිරිසක් හිර ගෙවල්වලදී මරණයට පත්විය. කාම්බෝජ විප්ලවයේදී අව් කණ්ණාඩි පළඳින හා ප්‍රංශ භාෂාව කතා කරන මිනිසුන් පවා පන්ති සතුරන් ලෙස සලකා ඝාතනය කරන ලදි. මේ වනවිට සමාජවාදයේ නාමයෙන් බලහත්කාරී ආකාරයකින් ගොඩනගා ගත් සියලු රාජ්‍යයන් බිඳ වැටී ඇතත් එම බිහිසුණු අත්හදා බැලීම් එකී රටවල සමාජ දේශපාලන දේහයේ ඇතිවී තිබෙන විකෘතීන් අද දක්වා ජයගැනීමට ඔවුන් සමත් වී නැත. ලංකාවේ විජේවීර හා ප්‍රභාකරන් කරන ලද අත්හදා බැලීම් අයත් වන්නේද එම ගණයටමය.

එමනිසා විශාල ජීවිත විනාශයක් හා දේපළ විනාශයක් සිදුවුවා පමණක් නොව ශ්‍රී ලංකා රාජ්‍යයේ හා සමාජයේ ඇති වී තිබෙන විකෘතියේ ප්‍රමාණයද අතිවිශාලය. ජේවීපී හා එල්ටීටීඊ ප්‍රචණ්ඩ කැරලි කරළියට එන තෙක් ශ්‍රී ලංකාවට තිබුණේ උත්සව අවස්ථා සඳහාත් ගංවතුර හා කලකෝලාහල වැනි විපත් සඳහාත් යොදා ගන්නා පුංචි හමුදාවකි. ආරක්ෂක හමුදාවන්ට ආයුධ වශයෙන් තිබුණේද රයිෆල් වැනි යල් පැනගිය ආයුධය. ජේවීපී හා එල්ටීටීඊ කැරලි නිසා ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රමාණය පමණක් නොව ස්වභාවයද වෙනස් විය. ජනගහනයට අනුපාතිකයක් වශයෙන් ගත්විට දකුණු ආසියාවේ විශාලතම ආරක්ෂක හමුදාව සිටිනුයේ ශ්‍රී ලංකාවේය. බංගලිදේශයේ මිනිසුන් දශ ලක්ෂයක් සඳහා වැටෙන ආරක්ෂක හමුදා සෙබළුන් සංඛ්‍යාව දහසකි. ඉන්දියාවේ එක්දහස් තුන්සියයකි. නේපාලයේ දෙදහස් හත්සියයකි. පාකිස්තානයේ හාරදහසකි. ලංකාවේ නවදහසකි. ජේවීපියේ දෙවැනි කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල කුරිරු වු අතර එම කැරලි මර්දනය කෙරුණු ආකාරය ඊටත් වඩා කුරිරු විය. එම බිහිසුණු වටාපිටාව රාජ්‍යයේ ස්වභාවයද වෙනස් කිරීමට හේතුවිය. රාජ්‍ය චෞර, දූෂිත හා මංශ භක්ෂක රාජ්‍යයක් බවට පත්කිරීම හේතුවිය.

වික්ටර් අයිවන් රාවය පුවත්පතට තබන ලද සටහනකින් උපුටා ගන්නා ලදී. ඡායාරූපය ෂෙහාන් ගුණසේකරගෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com