ලංකාවේ හෙට දවස සහ ගෝඨාභය රාජපක්ෂ

Jan 7, 2017
colombo-slum-01

​වඩා යහපත් ලංකාවක් ඇති කරගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නය අපට ඇසීමට සිදු වී තිබෙන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේ බිහි වූ වඩාත්ම ස්වෝත්තමවාදී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන තන්ත්‍රයක් වු රාජපක්ෂ තන්ත්‍රය බිද වැටී වසර දෙකක් ගත වීමට ආසන්න වන අවස්ථාවකය. එසේම රාජපක්ෂ තන්‍ත්‍රයේ තැන ගත් යහපාලන රෙජිමය ස්වකීය අසාර්ථකත්වය දවසින් දවස ඔප්පු කරමින් සිටින මොහොතකය. එක් අතෙකින් එම රෙජිමය විසින් ක්‍රියාවට නංවා තිබෙන දක්ෂිනාංශික නව ලිබරල් ආර්ථික පිලිවෙල නිසා සමාජයේ පහල පාන්තික ජන කොටස් අතර අසහනයක් මෝදු වෙමින් තිබෙන අතර අනෙක් අතට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ වර්ධනයක් සිදු නොවීමට විරෝධය දක්වා යාපනයේ දහස් ගනන් ජනයා හර්තාල් දැක්වූහ.

වඩා යහපත් ලංකාව අපට පරිකල්පනය කිරීමට සිදුවන්නේ මෙකී පවතින දේශපාලන යථාර්තයන්ට සාපේක්ෂවය. මේ මොහොතේ ලංකාවේ දේශපාලන ගමන් පථය ප්‍රධාන අභියෝග දෙකක් විසින් හැඩගස්වනු ලැබ තිබේ. පලමුවැන්න ආර්ථික තලය තුල ඇතුලත් කරගත්තවුන් හා බැහැර කරන ලද්දවුන්ගේ අභිලාෂයන් අතර තිබෙන ප්‍රතිවිරෝධයයි. දෙවැන්න ලංකාවේ ජනවාර්ගික සැකසුම් අතර තිබෙන දේශපාලන ආතතියයි. මෙම ප්‍රතිවිරෝධතා යුගලය එකිනෙක මත පතිත වෙමින් එකිනෙක හා සමාන්තරව යමින් හා එකිනෙක යටත් කරමින් ලංකාවේ දේශපාලන ගමන් මාර්ගයේ හැඩය නිර්නය කරනු දැකගැනීමට පුලුවන.

ඇතුලත් කරගත්තවුන් හා බැහැර කරන ලද්දවුන් අතර ප්‍රතිවිරෝධතාවය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යත් ඕනෑම ධනවාදී සමාජයක් වගේ ලංකාවේ සමාජයත් ඇතුලත් වු අය හා බැහැර වූ අය ලෙස ධ්‍රැවීකරණය වී තිබෙන අතර ආර්ථිකය සංවිධානය වී තිබෙන්නේ ඇතුලත් කරගනු ලැබු සුලුතරයකගේ ප්‍රතිලාභය ප්‍රමුඛතාවයේ තබමිනි. උදාහරණයක් ලෙස කොලඹ නගරය ප්‍රතිසංස්කරණය කිරීමේ දී ප්‍රමුඛතාවය ලැබෙන්නේ ප්‍රාග්ධන ආයෝජනවලට සුදුසු ලෙස කොලඹ වෙනස් කිරීමටය. නාගරික දුගීන්, පැල්පත්වාසීන් හා මුඩුක්කු ජනයා ආදී බැහැර කරන ලද්දවුන් ප්‍රාග්ධනයට ඉඩ දී නගරයෙන් පිටට යා යුතු යැයි අපේක්ෂා කෙරේ. ගෝලීය මුල්‍ය ප්‍රාග්ධනයට පහසුකම් සැලැසීම සදහා මුහුද ගොඩ කොට ඉදිවෙන ඊනියා මූල්‍ය නගරය එම නගරය නිසා ජීවිකාව තර්ජනයට ලක්වෙන ධීවර ප්‍රජාවන්ගේ ජීවිතයට වඩා ප්‍රමුඛය.

මේ වනවිට අධිපතිව පවතින ආර්ථික දියුනුව පිලිබද අධිපති සංකල්පය බැහැර කරන ලද්දවුන් බැහැර කරනු ලැබීම වඩාත් ශක්තිමත් ලෙස ප්‍රතිනිෂ්පාදනය කරයි. ආර්ථික සංවර්ධනය ගැන මේ අධිපති අදහසට අනුව පෞද්ගලික අංශය හා වෙලදපොල ආර්ථික දියුනුවේ වාහකයාය. රජයේ කාර්යය විය යුත්තේ වෙලදපොලට හා පුද්ගලික ප්‍රාග්ධනයට නිදහසේ ක්‍රියා කිරීම සදහා වු අවකාශය සපයා දීමය. පෞද්ගලික ප්‍රාග්ධනය ධෛර්යය ගැන්වීම සදහා රජය ඊට බදු විරාම ඇතුලු විවිධ සහන ලබාදෙයි. විශාල වශයෙන් ණය ගෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් පුද්ගලික ප්‍රාග්ධනයට ආයෝජන සදහා ආකර්ෂණීය වටපිටාවක් ඇති කිරීමට වෑයම් කරයි.

ආයෝජකයින් දුර්මුඛ කරන කම්කරු නීති ලිහිල් කරන බවට රජය ප්‍රතිඥා දෙයි. පුද්ගලික ප්‍රාග්ධනයට ආයෝජනය කිරීමට හැකි වන ලෙස රජය විසින් සුබසාධන සේවා ලෙස පවත්වාගෙන ගිය අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර මත වු රාජ්‍ය අයිතිය රජය විසින් ලිහිල් කරයි. ආර්ථිකය තුල රජයේ පංගුව කුඩා කරමින් වැඩි අවකාශයක් පෞද්ගලික ප්‍රාග්ධනයට පැවරීමට රජය අපේක්ෂා කරයි. මෙලෙස පුද්ගලික ප්‍රාග්ධනයට පහසුකම් සැලසීම තුලින් ආර්ථික දියුනුවක් ඇති වු විට එම දියුනුවේ ප්‍රතිලාභ පහලට කාන්දු වී ගොස් සමාජයේ පහල පාන්තික ජනයාටත් ඉන් ප්‍රතිලාභ අත්වනු ඇත යන්න ආර්ථික සංවර්ධනය ගැන මේ සංකල්පනය විසින් උපකල්පනය කරයි.

ව්‍යාපාරිකයින්, ධනවතුන් හා ආයෝජකයින්ට වාසිසහගත වන මෙම ආර්ථික ක්‍රියාවලිය තමන්ගේ ජීවන තත්වයන් මත වන ප්‍රහාරයක් ලෙස හා තම අවවරප්‍රසාදිත තත්වය වඩාත් තහවුරු කරන්නක් ලෙසය සමාජයේ පහල පාන්තික කොටස් විසින් සංජානනය කරනු ලබන්නේ. සමාජ-දේශපාලන ආතතීන් ඇති වෙන එක් ලක්ෂ්‍යයක් වන්නේ මෙයයි. ආයෝජකයින් වෙනුවෙන් කම්කරු නීති කප්පාදු කිරීමට වෘත්තීය සමිති එකග නැත. වෙලදපොලට පහසුකම් සැලසීම වෙනුවෙන් සමාජ සේවාවන් වාණිජකරනය කරනු ලැබීම සාමාන්‍ය ජනයා මත අතිරේක පීඩාවක් ඇති කරයි. සමපේක්ෂකයින්ට ලාභ ලැබීම සදහා ඉදිරිකෙරෙන වරාය නගරය වෙනුවෙන් තම ජීවිකාව බිලි දීමට සුලු පරිමාණ ධීවරයා එකග නැත.

ව්‍යාපාරවලට ඉඩ දී තම නිවාසවලින් ඉවත් වීමට නාගරික දුගීන් සූදානම් නැත. රජය විසින් සපයනු ලබන සහනාධාර කප්පාදු කිරීම නිසා ඇතිවන අන්ත දුගීභාවයට එරෙහිව ගොවීහු විරෝධය පල කරති. ඉදිරි කාලය තුල මෙම සමාජ ආතතීන් දේශපාලන ප්‍රශ්න ලෙස වර්ධනය වීමට නියමිතය. ලංකාව මුහුණ දෙන අනෙක් ප්‍රධානතම ප්‍රශ්නය නම් ජනවාර්ගික ප්‍රතිවිරෝධතාවයයි. නිදහසින් පසු ලංකාවේ ජනවාර්ගික සම්බන්ධතා පිලිබද ඉතිහාසය නම් සිංහල කේන්ද්‍රීය මහජාතිවාදී රාජ්‍යයක පැවැත්ම හා ඊට එරෙහිව උතුරු නැගෙනහිර දෙමල ජනයා මුලික කරගෙන ඇති වු විරෝධතා ව්‍යාපාර අතර වු ගැටුමේ ඉතිහාසයයි. මෙම ගැටුම මේ වනවිටත් සජීවීව පවතින ගැටුමකි.

එය අවධි ගණනාවක් පසු කොට ඇත. ආරම්භයේ දී ෆෙඩරල් ක්‍රමයක් තුල කලාපීය ස්වයං පාලනය ඉල්ලා සිටින සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් ලෙස ද පසුකාලීනව ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා සිටින සටන්කාමී ව්‍යාපාරයක් ලෙස ද මෙම ව්‍යාපාරය වර්ධනය වූ අතර 2009 මැයි මාසයේ දී එම සටන්කාමී ව්‍යාපාරය විශාල ජන ඝාතනයක් මතින් චප්ප කරනු ලැබීමෙන් ඉක්බිති දැන් නැවත සාමකාමී ප්‍රතිවිරෝධතා ව්‍යාපාරයක වේශයෙන් එය සංවිධානය වෙමින් තිබේ. විවිධ යුගවල විවිධ රූපාකාරවලින් වර්ධනය වූ දෙමල ජාතික ව්‍යාපාරයේ සාරාත්මක අභිලාෂය වන්නේ සිංහල කේන්ද්‍රීය රාජ්‍යයේ ආධිපත්‍යෙයන් ස්වාධීන වීමට එම ප්‍රජාව තුලින් මතු වී තිබෙන ඉල්ලීමය.

මේ වනවිට දකින්නට ලැබෙන්නේ ඉහත කී ඉල්ලීම කලාපීය ස්වයං පාලන අයිතිය පිලිබද ඉල්ලීමේ රූපයෙන් ඉදිරිපත් වී තිබෙන ආකාරයයි. සම්බන්ධන්-සුමන්තිරන් විසින් නායකත්වය දෙන දෙමල ජාතිකවාදී දේශපාලනයේ මධ්‍යස්ථවාදී පිල සිංහල කේන්ද්‍රීය රාජ්‍යය සමග කරන සාකච්ඡා මාර්ගයෙන් එම ඉල්ලීම දිනා ගත හැකි යැයි විශ්වාසය තබා සිටී. එම උපාය මාර්ගය සාර්ථක නොවීම පිලිබද අතෘප්තියට පත් වී සිටින දෙමල සමාජයේ රැඩිකල් ජාතිකවාදී කණ්ඩායම් එම ඉල්ලීම දිනා ගැනීම සදහා වඩා සටන්කාමී විරෝධය පෑමක් අවශ්‍ය යැයි කල්පනා කරයි. මෙම ප්‍රශ්නයට සිංහල දේශපාලන සමාජය ප්‍රතිචාර දක්වන්නේ විවිධ ආකාරවලටය.

යහපාලන ආණ්ඩුවේ ලිබරල් පාර්ශවය ලෙස සැලකිය හැකි එක්සත් ජාතික පක්ෂය බටහිර රටවල ආධාර හා අනුග්‍රහය ලබාගැනීමේ උපයෝගිතාවාදී අභිප්‍රාය මත යම් ප්‍රමාණයකට බලය බෙදාහැරීමේ දේශපාලන විසදුමකට එකග වන නැඹුරුවකින් ක්‍රියා කරයි. මෙම නැඹුරුව ඇති වී තිබෙන්නේ දෙමල දේශපාලන ඉල්ලීම්වල ප්‍රජාතාන්ත්‍රීය සුජාතභාවය පිලිබද වු එකගතාවයක් තුලින් නොව හුදෙක් ආධාර දෙන රටවල හොද හිත පවත්වාගෙන යාමේ ආර්ථිකමය අවශ්‍යතාවය තුලිනි. මේ නිසාම දේශපාලන විසදුමක අවශ්‍යතාවය දකුණේ සමාජය තුල යුක්ති යුක්ත කිරීම සදහා වු අධිෂ්ඨානසහගත මැදිහත්වීමක් ආණ්ඩුව පැත්තෙන් දකින්නට නොලැබේ. මීට සමගාමීව 2015 ජනවාරියේ දී ආණ්ඩු බලය අහිමි වු සිංහල ස්වෝත්තමවාදී බලවේග ආක්‍රමණශීලී ආපසු පැමිණීමක් සදහා සංවිධානය වෙමින් සිටින අතර දකුණ තුල තවමත් බලවත්ව පවතින්නේ මෙම ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදයයි.

එම දෘෂ්ටිවාදය සමග ගැටුමක් ඇති කොට ගෙන ස්වකීය බල පදනම් අහිමි කරගැනීමේ අවදානම ගැනීමට රජය තුල සිටින ලිබරල් කණ්ඩායම් සූදානම් නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ උතුර හා දකුණ අතර වු පසමිතුරු සම්බන්ධය අඛණ්ඩව ප්‍රතිනිෂ්පාදනය වීම සදහා අවශ්‍ය තත්වයන් නිර්මාණය වී තිබීමය. උතුරු ලංකාවේ අභිලාෂයන් හා දකුණු ලංකාවේ අභිලාෂයන් අතර බරපතල පරස්පරයක් තිබෙන අතර උතුරු නැගෙනහිර දෙමල ජනයාගේ දේශපාලන ඉල්ලීම් සාධාරණ ලෙස ආමන්ත්‍රණය වන තුරු එනම් දකුණ විසින් එම ඉල්ලීම්වල ප්‍රජාතාන්ත්‍රීය යුක්තියුක්තභාවය පිලිගන්නා තුරු මෙම පරස්පරය එලෙසම පවතිනු ඇත. මෙය සමාජ-දේශපාලන ආතතීන් ගොනු වන අනෙක් අක්ෂයයි.

වඩා යහපත් ලංකාවක් පිලිබද අපේක්ෂා ඇති කල හැක්කේ ඉහත කී තල දෙකෙහිම ප්‍රතිවිරෝධතා ප්‍රජාතාන්ත්‍රීය ලෙස ආමන්ත්‍රණය කල හැකි ප්‍රබුද්ධ දේශපාලන ව්‍යාපෘතියකට පමණි. ආර්ථික සංවර්ධන විෂයෙහි අනුගමනය කෙරෙන්නේ සමාජයේ සුලුතරයකට ප්‍රතිලාභ සහගත වු හා බහුතරය බැහැර කෙරෙන සුලු ආර්ථික පිලිවෙතක් නම් එබදු සමාජයක් සාධාරණ හෝ යහපත් සමාජයක් බවට පත් වන්නේ නැත. මේ වනවිට ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සමාජයට ඉහලින් වෙලදපොල තබන ආර්ථිකය පිලිබද නව ලිබරල් දැක්ම පිලිගන්නා අතර ආර්ථික දියුණුව පිලිබද දෙපාර්ශවයටම තිබෙන්නේ අඩු වැඩි වශයෙන් එක හා සමාන ඉදිරි දැක්මකි.

රාජපක්ෂ රජය විසින් යුද්ධය නිමා වීමෙන් පසු දියත් කල නව ලිබරල්කරණ ආර්ථික රැල්ල නව රජය යටතේ අඛණ්ඩතාවයක් සහිතව ඉදිරියට යමින් තිබෙන්නේ ඊට අනුවය. වරාය නගරය ඉදිකිරීමේ සිට සමාජ සේවා පෞද්ගලිකකරණය දක්වා සියලු ක්ෂේත්‍රවල මෙම අඛණ්ඩතාවය දක්නට ලැබේ. මෙම පිලිවෙත කෙරෙහි වු අතෘප්තීන් විවිධ සමාජ කොටස් වෙතින් පලවෙමින් තිබුණද එකී අතෘප්තීන් දේශපාලන ව්‍යාපෘතියක් විසින් ප්‍රබල ලෙස සංවිධානය කොට නොමැත. එබදු සංවිධානය වීමක් සිදු නොවේ නම් සිදුවීමට නියමිත දෙය මෙබදු අතෘප්තීන් ජාතිවාදී ලෙස සංවිධානය කිරීමට ජාතිවාදී කොටස්වලට අවස්ථාව ලැබීමය. වැට් බදු වැඩි කිරීම නිසා මහජනයාට මුහුණ දෙන්නට සිදු වු පීඩනයට එරෙහිව සටන් කිරීමේ වීරයා බවට විමල් වීරවංශ පත්වීම එම ප්‍රවණතාවයේ පෙර නිමිත්තකි.

දෙවනුව ජාතීන් අතර අසමාන බල සම්බන්ධයක් තිබෙන එක් ජනවර්ගයක ආධිපත්‍යයට අනෙක් ජනවර්ග යටත් වී පවතින සමාජයක්ද ප්‍රජාතන්ත්‍රවාදී හා යහපත් සමාජයක් බවට පත් වීමට ඉඩක් නැත. දකුණේ දේශපාලනය තුල තිබෙන බරපතලම හිඩැස නම් දෙමළ ජාතික අරගලයේ ප්‍රජාතාන්ත්‍රීය ඉල්ලීම්වල සුජාතභාවය එම බරින් පිලිගනු ලැබූ දේශපාලන ව්‍යාපෘතියක නොපැවැත්මය. සමාජ ආර්ථික ගැටලුවල දී සමාජයේ පහල පාන්තික ජනයා වෙනුවෙන් පෙනී සිටින වාමාංශික සංවිධාන වන ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි සංවිධාන ගත්තද වාර්ගික ප්‍රශ්නය සම්බන්ධව එම සංවිධාන සිංහලවාදී ඌනිත කියැවීමක සිරවී සිටී.

එක් අතෙකින් ස්වකීය ඉල්ලීම් මත පදනම් වු දෙමල ජාතික ව්‍යාපාරයක් බලවත් ලෙස උතුරේ වර්ධනය වීමට නියමිත තත්වයක් තුල එම ඉල්ලීම්වල යුක්තියුක්තභාවය දකුණ තුල තහවුරු කිරීමට සමත් දේශපාලන ව්‍යාපෘතියක් දකුණේ නොපවතී නම් එහි ඊලග ප්‍රතිඵලය වීමට නියමිත සිංහල ස්වෝත්තමවාදී බලවේග දකුණ තුල වඩාත් බලගතු තත්වයක් අත් පත් කරගැනීමය. වැට් බද්දට, පෞද්ගලිකකරණයට හා පොහොර සහනය කප්පාදුවට එරෙහිව කථා කරන විමල් වීරවංශ එම විරෝධය රට බෙදීම ඉල්ලා සිටින දෙමලාට එරෙහි විරෝධයද සමග සංයෝග කල විට ලංකාවේ හෙට දවස අයිති වීමට නියමිත විමල් වීරවංශලාටය. දැනට කිවහැක්කේ විමල් වීරවංශලාට හා විමල් වීරවංශ ප්‍රවණතාවයේ නායකත්ව ප්‍රකාශනය ලෙස ඉස්මතු කිරීමට යෝජිත ගෝඨාභය රාජපක්ෂලාට අයත්වීමට නියමිත ලංකාවක් හොඳ ලංකාවක් වීමේ කිසිදු සම්භාවිතාවයක් නොමැති බවය.

රමිදු පෙරේරා විසින් අක්ෂය වෙබ් අඩවියට තබන ලද සටහනට ඡායාරූපය ෂෙහාන් ගුණසේකරගෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com