ලංකාව වී වගාව නතර කළ යුතුයි. -දීප්ති කුමාර ගුණරත්න

Dec 19, 2015
Deepthi1

ලාංකීය දේශපාලනයෙ නිරත බොහොදෙනෙක් දැනටමත් නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා විදෙස්ගතව ඇති අතර ඉතිරි කිහිපදෙනා අයවැය අවසාන ඡන්ද විමසීමෙන් අනතුරුව විදෙස් ගතවීමට නියමිතය. නිවාඩු නොලබා විප්ලවවාදී දේශපාලනය වෙනුවෙන් සිය කාලය හා ශ්‍රමය කැප කරන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සමඟ පැවැත්වු සාකච්ඡා සටහනක් පහත දැක්වේ. ආන්දෝලනාත්මක සත්හඬ පුවත්පතේ කතෘ මණ්ඩල ප්‍රධානියාද ඔහුයි.

Q වාමාංශික පක්ෂ දේශපාලනයෙ නිරත ඔබ ජාතික පුවත්පතක් සමඟ සම්බන්ධවීමේ අරමුණ කුමක්ද?

A මම 1996 මුලින්ම මාතොට සඟරාව හරහා මාධ්‍යයකට සම්බන්ධ වුනා. එවකට අපි හිතුවා මාතොට හරහා අපගෙ මාතවාදය ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. මට තියෙනවා ලිවීමේ හැකියාවක්. එම හැකියාව පුවත්පතකට යොදාගත්තා. පක්ෂ දේශපාලනයෙ නිරත කෙනෙක් විදියට මාධ්‍යකරුවෙක් වුනේ අපගේ මතවාදය ප්‍රචාරය කිරීමට වක්‍ර ආකාරයකින් මාධ්‍ය යොදාගැනීමටයි.

Q ඔබගේ පුවත්පත මංගල සමරවීර මහතාව අගමැති කිරීම වෙනුවෙන් පෙනී සිටින බවට පැතිර යන තටකතා වල සත්‍ය අසත්‍යතාවය කුමක්ද?

A මම හැමවෙලාවෙම බලන්නෙ මම විශ්වාස කරන දේශපාලන අදහස් කොහොමද රටට ගෙනියන්නෙ කියන එක. මම වැඩකරන්නෙ මම වෙනුවෙන්. හැබැයි ඉතා වගකීමෙන් මම කියනවා මංගල සමරවීර අගමැති කිරීමේ ව්‍යාපෘතියක් මම දන්නෙ නැහැ. දැනගත්තොත් කියන්නම්.

Q සත්හඬ පුවත්පත අයිති කාටද?

A දැනට සත්හඬ පුවත්පතට අයිතිකාරයෙක් නැහැ. පෙර අධ්‍යක්ෂක මණ්ඩලයක් හිටියා. ඔවුන් ඉවත්වුනා. තවත් පිරිසක් පත්වීමට නියමිතයි. අතරමැද කාලයක තමයි දැන් පුවත්පත තියෙන්නෙ.

Q මංගල සමරවීර පුවත්පත් දෙකක් මිලදී ගත්තාද?

A මංගල සමරවීර පත්තර දෙකක් මිලදී ගත්තානම් නීතියෙන් ඔප්පු කරන්න පුළුවන්. එහෙම නැත්නම් එය කටකතාවක්. මම කටකතා නරකයි කියන්නෙ නැහැ. හැබැයි මම කියන්නෙ අරං තියෙනවා නම් ඔප්පු කරන්න.

deepthi2

Q එක්ස් කණ්ඩායම නමින් හැදින්වෙන සංවිධානය ඔබව ඒකාධිපතියෙක් විදියට හදුන්වන්න හේතුව කුමක්ද?

A එක්ස් කණ්ඩායම නිල වශයෙන් පිහිටවපු සංවිධානයක් නෙමෙයි. එක්ස් කණ්ඩායම කියන්නෙ මනුෂ්‍යයන් පිරිසක් අතර ඇති වු ගිවිසුමක්. අනික මම පක්ෂය තුළ ඒකාධිපතියෙක් වගේ හැසිරෙන්න මට මතයක් තියෙන නිසා. ගොඩක් අය දේශපාලනයට ඇවිල්ලා තියෙන්නෙ සල්ලි හම්බ කරන්න නැතිනම් ලිංගික අවශ්‍යතා වලට. මම එහෙම නෙමෙයි. මම ලංකාව වෙනස් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දාර්ශනික මතයක් ඉදිරිපත් කරනවා. කැමති කෙනෙක්ට එකතුවෙන්න පුළුවන්. අකමැති අයට ඉවත්වෙන්න පුළුවන්.

Q ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය රාජ්‍ය පිළිබඳ දරන මතය කුමක්ද?

A සාමාන්‍යයෙන් වාමාංශිකයො කියන්නෙ රාජ්‍ය පන්ති පක්ෂපාතයි සමාජවාදී විප්ලවයක් සිදුවුනාට පස්සෙ රාජ්‍ය නැතිවෙලා යනවා කියලානෙ. මම යෝජනා කරන්නෙ බැරිවෙලාවත් රාජ්‍ය නැතිවුනොත් මිනිස්සු වහල්ලු වෙනවා. මට අනුව ශිෂ්ඨ සමාජයක් පවතින තුරු රාජ්‍ය තියෙනවා. එමනිසා රාජ්‍ය පාලනය හැකිතාක් ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා නම් හොඳයි.

Q රාජ්‍ය පාලනයට දායකවීමේ හැකියාවක් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට තියෙනවද?

A පැහැදිලිවම නැහැ. රාජ්‍ය පාලනය කිරීම සඳහා පක්ෂයට කරන්න දෙයක් නැහැ. එය වැරදි අදහසක්. රාජ්‍ය නිලධාරින් ඉන්නකොට පක්ෂවල අය තනතුරු ගන්න අවශ්‍ය නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හිතාගෙන ඉන්නවා චීනයෙ වගේ රාජ්‍ය වෙනුවට පක්ෂය ආදේශ විය යුතුයි කියලා. අපි කියන්නෙ එය සම්පූර්ණයෙන් වැරදි වැඩක්. පක්ෂයයි රාජ්‍යයයි පැහැදිලිවම දෙකක් විය යුතුයි. පක්ෂය සහ රාජ්‍ය අතර පැහැදිලිවම පරතරයක් තිබිය යුතුයි.

Q ඔබ රටේ ජනාධිපති වීමට අකමැති බලයට බය නිසාද?

A බලයට බය නැහැ. ජනාධිපති වෙනවා කියන්නෙ මම හොරෙක් වෙනවා. මම දන්නවා මම ජනාධිපති වුනොත් මට ලැබෙන කොමිස් මුදල් ප්‍රමාණය. මම වනාහි ලංකාව මීට වඩා දියුණු කරන්න යම් දර්ශණයක් යෝජනා කරන්නෙක් පමණයි. එමනිසා මම කැමතියි මේ විදියටම මිය යන්න. මම පරමාදර්ශ වගයක් යෝජනා කරනවා සමාජයට. මිනිස්සු එම පරමාදර්ශ උකහාගන්නවා නම් මම ජනාධිපති වියයුතු නැහැ.

deepthi3

Q විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

A දැන් ජනාධිපතිට තියෙන බලතල ඔක්කොම අගමැතිට දෙනවා නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් වැඩක් නැහැ.

Q විධායක ජනාධිපති ධූරය අහෝසි කළද මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ පාලන කාලය තුළ එය ක්‍රියාත්මක වෙයිද?

A වත්මන් ජනාධිපතිවරයාට නෛතික වශයෙන් අවුරුදු පහක් බලයේ සිටිය හැකියි. අවුරුදු පහක් ඉන්නවද නැද්ද කියන එක සාදාචාරයට අදාළ කාරණයක්. දැන් ජනාධිපතිතුමා තීරණය කරන්න අවශ්‍යයි මොකද කරන්න කියලා. මගෙ අදහස තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයට ඉක්මනින් බලය අත්හරින්න පුළුවන්නම් හොඳයි. හැබැයි එහෙම වෙන්නෙ නැති එකයි ගැටලුව.

Q රනිල් වික්‍රමසිංහ මහතාගෙ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ඔබගෙ අදහස කුමක්ද?

A නව රජය තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීම ජනාධිපතිවරයා විසින් බාරගත්තා. අගමැතිවරයා විසින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බාරගත්තා. කොමිසන් සභා පත්කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ ඉවරවෙමින් යද්දි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියේදි ඇති විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතාගෙ නව ලිබරල්වාදය කියලා කියන්නෙ පුළුවන් තරම් ශ්‍රමයට සීමාවල් දැමීම සහ ප්‍රාග්ධනයට පුළුවන් තරම් නිදහස ලබාදීමයි. ඊට සමාජය කැමතිද නැද්ද කියන එක මිනිස්සු තීරණය කරයි. ඒක තීරණය වෙන්නෙ දෘෂ්ඨිවාදය මත.

Q රටේ ආර්ථික ක්‍රියාවලිය වෙනස් කරන්න ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ යෝජනා තියෙනවද?

A යෝජනා ගොඩක් තියෙනවා. ලංකාවෙ වී වගාව කියන්නෙ අපේ සංස්කෘතියට බද්ධ වු එකක් වුනත් ලංකාවෙ වී වගා කිරීම පාඩුයි. එමනිසා වී වගා කිරීම අත්හැර වෙනත් වානිජ භෝගයකට හෝ වෙනත් වානිජ කර්මාන්තයකට යොමුවිය යුතුයි. පාඩු ලබමින් ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය නිසා ලංකාවට සිදුවන පාඩුව අතිවිශාලයි.

deepthi4

Q සමස්ථයක් හැටියට ආර්ථික මිනිසා වෙනස් කරන්න ඔබ යෝජනා කරන්නෙ කුමක්ද?

A මිනිස්සු ගම්වල ජීවත්වීම පාඩුයි. එමනිසා අපි පොකුරු නගර වලට යා යුතුයි. ගම්බද ප්‍රදේශවල ප්‍රධාන නගරයක් තෝරගෙන උස ගොඩනැගිලි හදලා මිනිස්සු නිවාස සංකීර්ණවල පදිංචි කළ යුතුයි. ඉන්පසුව ඉතිරි ඉඩම් වනාන්තර බවට පත්කළ යුතුයි. විශාලා නගර (Mega City) නෙමෙයි බිහිකළ යුත්තෙ නිපුන නගර (Smart City). එහි අර්ථය තමයි සියලු පහසුකම් වලින් සමන්විත නගරයක් කියන එක. එතකොට අපේ ශක්තිය ඉතුරුවෙනවා විතරක් නෙමෙයි කැළෑ කැපෙන එක අඩුවෙලා පරිසර විනාශයත් අවම වෙනවා.

Q ජනතා විමුක්ති පෙරමුණ ලංකාවෙ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ ඔබගේ විවේචනය කුමක්ද?

A ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදියි. ධනවාදය විසින් කරන විනාශයට වඩා විනාශයක් දෙමලුගෙන් වෙනවා කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ හිතාගෙන ඉන්නෙ. අනික ඔවුන් හිතනවා දිගමට ජාතිවාදිවෙලා හිටියොත් කවදාහරි බලයට එන්න පුළුවන් කියලා. සමහරවිට ඔවුන් පුද්ගලිකව ජාතිවාදි නොවුනත් තමන්ගෙ ඡන්ද පදනම රැකගන්න ජාතිවාදින් විදියට පෙනී සිටිනවා. මොකද ලංකාවෙ සෑහෙන ප්‍රමාණයක් ඉන්නෙ සිංහල ජාතිවාදයො නිසා.

Q යහපාලනෙ කතා විතරයි මොනවත් වෙන්නෙ නැහැ කියලා මහජනතාව කියනවා. මොකක්ද ඔබගේ අදහස?

A මමත් ඉන්නෙ මහජනයාගෙ පැත්තෙ. යහපාලන ක්‍රමයට වැඩ කරනවා කියන්නෙ තාක්ෂණික ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. මහින්ද රාජපක්ෂ රට පාලනය කරනකොට අපිට ඇඟට දැනෙනවා. දැනුන හැටි මතකයිනෙ. හැබැයි රාජ්‍ය පාලනය කියන්නෙ ඇගට දැනෙන එකක් නෙමෙයි හිතට දැනෙන එකක්. මෙම ක්‍රමයට වෙලාව යනවා තමයි. හැබැයි හොඳයි. අවාසනාවකට රනිල් වික්‍රමසිංහට මම වගේ කැබිනට් ප්‍රකාශකයෙක් නැහැ.

5 thoughts on “ලංකාව වී වගාව නතර කළ යුතුයි. -දීප්ති කුමාර ගුණරත්න

  1. Krishna Ramanayaka says:

    ගැටලු රාශියක් ලිපියේ ඇත. රාජ්‍ය පාලනය යන්න හා පක්ෂ මහජනයා අතර බෙදීම් රේඛාව පැහැදිලි නැත. වී වගාව කල යුතුද නැතිද යන්න තීරණය කරන්නේ කවුද? නගර වලට ජනතාව රාශි වන්නේ කුමන පදනමකින්ද? ස්මාට් සිටි හදන්නේ අවසානයට රජයමයි. මිනිස් අවශ්‍යතා දැනගන්න රජයකට ඇති හැකියාව කුමක්ද? වී වගාව පාඩු බව ඇත්ත. නමුත් ඉන් ගැලවෙන මග සොයාගත යුතු ආකාරය අපැදිලියි. (සංවාදයකට විවෘතයි)

  2. Thiwanka Jayasekara. says:

    එකඟ විය හැකි කරුණු රාශියක් මෙන්ම අපහැදිලිතාවයන්ද පවතී. සමස්තය තීරණය කිරීමට මෙම ලිපිය පමණක් ප්‍රමාණවත් නොවේ.

  3. Mahinda Panapitiya says:

    I think we should be self sufficient in foods and not only in Rice. That was the approach adapted by our ancient Hydraulic Civilization which sustained more than 2000 Yrs.

  4. Indika Gampaha says:

    Paddy Cultivation may be not profitable. But It is not advisable to give it up . Because it is the main food item in SL. If we give it up , we have to depend on the international market for the main food item. And It will create huge uncertainty in the country about food prices. We may not have any control on it and people suffer more during international conflict situations. What we have to do is , There should be a controlling system and monitoring body who monitor and control the production of agro industry. It should not allow farmers to produce extra products or excess stocks. An there should be a proper way of purchasing paddy and production of rice. Other wise 2 or 3 importers may control the country. This monitoring authority should monitor all the agro products and empower farmers with proper information . It should provide what to make , how to make, to who to make , which quantity to make and when to make agro products. Otherwise , farmers may continue with commit suicide as usual.

  5. Chandana says:

    If so why Japan and Korea still growing paddy?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com