වල්මත්ව හසරක් නොදැකීම. -තිසරණී ගුණසේකර

Nov 5, 2016
maithri-calender

දේශපාලඥයන්ට තවදුරටත් සන්නිවේදනය කරගත නොහැකි වන, තමන් විසින් නියෝජනය කරනු ලබතියි ඔවුන් සිතන ජනතාව වටහා ගැනීමට තවදුරටත් නොහැකි වන දේශපාලන ක‍්‍රමයක භයානක ලක්ෂ්‍යයක් සනිටුහන් කරන යුග තිබේ. (ආර්චී බ‍්‍රවුන්, ශක්තිමත් නායකයා පිළිබඳ මිථ්‍යාව) පුරාණෝක්තිය තුළ වීර රජා ස්වකීය බල ප‍්‍රභවයට පස්ස හරවන විට ඔහු නිතැතින්ම දුෂ්ට පාලකයෙකු බවට පත්වේ. පුරාණෝක්තිය තුළ රජාගේ බල ප‍්‍රභවය දිව්‍යමය එකකි. දෙවියෙකු හෝ දෙවිවරුන් විසින් ප‍්‍රදානය කරන ලද්දකි. එනිසා රජාගේ පාපයට දඬුවම් පැමිණවීමට එම දෙවියා හෝ දෙවිවරු කටයුතු කරත්. මේ පුරාණෝක්තිය තුළ නිරූපණය කෙරෙන්නේ සදාතන මානව ප‍්‍රපංචයකි. එකම වෙනසකට ඇත්තේ සැබෑ ජීවිතය තුළ බලය උපදින්නේ මානව උල්පතකින් මිස දිව්‍යමය උල්පතකින් නොවීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන්ට අදාළ බල උල්පත වන්නේ ජනතාව ය. ඡන්දදායකයන් ය. විශේෂයෙන් හිතකර මතවාදී පරිසරයක් නිර්මාණය කොට පවත්වාගෙන යන්නා වු සමාජ බලවේගයන් ය.

එදා මෙන්ම අදත් එම වරදට ලැබෙන දඬුවම වෙනස් නැත: අවමානය සහ බලයෙන් වීසි වීම අනිවාර්යයි. සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය කඩා වැටෙන තත්වයකට ගොස් නැත. තවම නැත. එහෙත් එම දුර්භාග්‍ය සම්පන්න අනාගතය ඉස්සර තරම් දුරස්ථ හෝ හුදු කල්පිතයක් හෝ නොවේ. ප‍්‍රතිපත්තියක් වශයෙන් තෝරා ගත් පිරිසක් සඳහා වන දණ්ඩ මුක්තියක් (දඬුවම් නොවිඳ වැරදි කිරීමේ අයිතිය) යුක්ති සහගත කෙරෙන ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් අර්ජුන මහේන්ද්‍රන් සඳහා දණ්ඩ මුක්තියක් ලබා ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ගත් ප‍්‍රයත්නයත් අඳුරු අනාගතයක සංඥා දනවන ප‍්‍රථම නිමිති ය. රාජපක්ෂලා පරාජය කිරීම හරහා ඉබේ යහපාලන යුගයක් ජනිත කෙරුණේ නැත. එයින් කෙරුණේ ඒ අපේක්ෂිත ඉලක්කය කරා ගමන් කිරීම එතෙක් වළකා ලු යෝධ බාධකයක් ඉවත් කරලීම පමණි.

යහපාලනය යනු සටන් පාඨයක් සහ ප‍්‍රතිඥාවක් මිස ඉෂ්ටසිද්ධ කර ගත් යථාවක් නොවේ. සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුවට එය කිරීටයක් සේ ලෙළවිය හැකිය. එහෙත් යහපාලනය අත්කර ගැනීම සඳහා පරිශ‍්‍රමයක් ගත යුතු ඉලක්කයක් මෙන්ම අත්කර ගත් පසු සදාතන වන තත්වයක්ද නොවේ. ගතවු විසි එක් මාසයක කාලය තුළ මේ ආණ්ඩුව යහපාලනයේ මුලික ආස්ථානයන්ට අනුරූපව සේම පටහැනිවත් කටයුතු කොට ඇත. ලබා ගත් ජනවරමෙන් පීලි පැන්න බොහෝ අවස්ථා අතරින් මහ බැංකුවේ බැඳුම්කර වංචාව අතිශය බරපතල ය. මහේන්ද්‍රන් මහතාව එම තනතුරින් ඉවත් කිරීම නිසා අර්බුදය තාවකාලිකව සමනය විය. එහෙත් එම වංචාව නිසා ඇති කෙරුණු විසංවාදය ආණ්ඩුව පස්සෙන් තවමත් පන්නයි. මහේන්ද්‍රන් මහතාගේ බෑනාට අයත් යැයි කියන පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් නැමැති ව්‍යාපාරික සමාගම 2016 මාර්තු මාසයෙන් අවසන් වු මූල්‍ය වර්ෂය තුළ බදු ගෙවීමෙන් පසු අත්කර ගත් රුපියල් බිලියන පහයි දශම එකක ශුද්ධ ලාභය පිළිබඳව කෙරුණු හෙලිදරව්ව එහිදී කැපී පෙනේ.

මෙම බැඳුම්කර වංචාව නිසා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන බල කොටුවක් වන නාගරික/උපනාගරික, මැද පංතික/ඉහළ මැද පංතික කොටස් අතරේ එම පක්ෂය කෙරෙහි විශාල අප‍්‍රසාදයක් දැනටමත් ජනිත කොට තිබේ. අවාසනාවකට මෙන් වික‍්‍රමසිංහ මහතා ස්වයං-විනාශකාරී මාවතින් බැහැර වීමට අසමත් වන බවක් පෙන්නුම් කරයි. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ අශෝභන හැසිරීම මගින් පෙන්නුම් කෙළේ එයයි. යහපාලන ධජය දැරීමට ජනතාව විසින් පත්කරන ලද ඔවුහු එහි සපුරා විලෝමයට උරදුන්හ. තමන්ගේම පක්ෂයේ අනාගත මැතිවරණ ශක්‍යතාවන් සහ තමන්ගේම ආණ්ඩුවේ අනාගත දේශපාලනික සුජාතභාවය පරදුවට තබමින් ඔවුහු මහේන්ද්‍රන් මහතා බේරා ගැනීමේ අවසාන සටනක නිරත වුහ. එක්සත් ජාතික පක්ෂයේ මෙම ස්වයං-විනාශකාරී හැසිරීම මෛත‍්‍රිපාල සිරිසේනට වාසියක් වන්නට ඉඩ තිබුණි. එහෙත් ඊට වඩා විශාල තෝරා ගත් පිරිසක් දණ්ඩ මුක්තිය පිළිබඳ අදහසක් ආරක්ෂා කිරීමට නොගියේ නම් ය.

මහබැංකු බැඳුම්කර වංචාව වැනි ආරක්ෂා කළ නොහැකි අවකල් කි‍්‍රයාවන් යහපාලනයේ බරපතල පරාජයන් වන මුත් එය සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයේ ප‍්‍රතිඥාගත මාවතෙන් පීලි පැන්න උපායමාර්ගික අපගමනයක් නොවන්නේය. එවැනි අවදානමක සංඥාවක් ජනාධිපතිවරයාගේ කතාවෙන් ඉඟි කෙරේ. මන්දයත් හරයාත්මකව ගත් විට එය තෝරා ගත් පිරිසක් වෙනුවෙන් දණ්ඩ මුක්තියක් ඉල්ලා සිටින සහ එය යුක්ති සහගත කෙරෙන කතාවක් වන බැවිනි. කතාවේ විචිත‍්‍ර ආලවට්ටම් උනා දැමු පසු එය කේන්ද්‍රීය කාරණා දෙකක් අප ඉදිරියේ ඉස්මතු කරයි. එකක් වන්නේ ඇතැම් පුද්ගලයන් ඔවුන් කෙළේ යැයි කියන අපරාධයේ ස්වභාවය කුමක් වෙතත් නීතියට ඉහළින් සිටිය යුතු බවයි. දෙවැන්න වන්නේ නඩු පැවරිය යුත්තේ කාටද නැත්තේ කාටද යන්න තීරණය කිරීම අවසානයේ ජනරජයේ ජනාධිපතිවරයා සතු විය යුතු බවයි.

මෙය 2015 ජනවාරි විපර්යාසයේ ආචාරශීලයට ඉඳුරා පටහැනි ය. රාජපක්ෂ පෙරලා ලැබු ජයග‍්‍රහණය තනි පුද්ගලයෙකුගේ හෝ තනි පක්ෂයක ක‍්‍රියාවක් නොවේ. ඇත්තෙන්ම එම ජයග‍්‍රහණයට බොහෝ දෙමාපියෝ සිටිති. සත්කාරකයෝ සිටිති. එය යථාවක් කර ගැනීමට උරදුන් අයවළුන් විවිධ සිහින සහ ඉලක්කවලින් පේ‍්‍රරණය ලද්දවුන් ය. මෙකී නානා ප‍්‍රකාර අරමුණු එකට බැඳ තැබූ සරළ හුය වුණේ රාජපක්ෂගෙන් පසුව එළැඹෙන අනාගතය රාජපක්ෂගේ අතීතයේ ප‍්‍රතිවාදය විය යුතු බවයි. දණ්ඩ මුක්තිය රාජපක්ෂ පාලනයේ මුලික ගති ලක්ෂණයක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නීතිය සැලකුවේ සතුරන්ට කොටන අසිපතක් සහ නෑ හිතමිතුරන්ව රකින දේශපාලනික පලිහක් වශයෙනි. නීතිපති දෙපාර්තමේන්තුව තම අණසකට ගැනීම සහ අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පූර්ණ දණ්ඩ මුක්තිය කරා ගිය රාජපක්ෂ ගමනේ වඩාත් අශිෂ්ට සන්ධිස්ථාන විය.

2015 ජනවාරි විපර්යාසයේ ප‍්‍රධාන අරමුණක් සහ යහපාලනයේ කේන්ද්‍රීය ශික්ෂාවක් වුණේ එම විනාශකාරී ගමන නතර කිරීමයි. රාජපක්ෂගේ පරාජයත් සමග දණ්ඩ මුක්තිය යට ගියේය. එහෙත් මියගියේ නැත. ඇතැම්හු දිගටම නීතියට ඉහළින් සිටියහ. හොඳම උදාහරණය අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ ව්‍යාපාරික බෑනණුවන් ය. දූෂණය සහ මූල්‍ය අපරාධ ගැන සොයා බලන බොහෝ ආයතනවලින් කිසිවක් බැදුම්කර වංචාවට මහේන්ද්‍රන්ගේ ඇතැයි කියන සම්බන්ධය පරීක්ෂාවට ගත්තේ නැත. මහ බැංකු අධිපති ධුරය අහිමි කර ගැනීමට අමතරව එහි ගෞරවය සිරිසේන මහතාට දිය යුතුය. කළා යැයි කියන අපරාධය වෙනුවෙන් කිසි වන්දියක් ගෙවීමට මහේන්ද්‍රන් මහතාට සිදුව නැත. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහ අල්ලස් කොමිසමේ ගමන් මග ගැන අවංක ගැටළුවක් ජනාධිපතිවරයාට තිබිණි නම් ස්වාධීන විය යුතු යැයි සිතන මේ ආයතන හිතවත්කම් මත කටයුතු කිරීම ඔහු නොඉවසුවේ නම් බැඳුම්කර වංචාව සහ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගැන ඔහු කතා කළ යුතුව තිබුණි. එහෙත් ඔහු කතා කෙළේ නැත.

ඒ වෙනුවට ඔහු කතා කෙළේ මෙකී ආයතන ඇත්තෙන්ම නිවැරදිව කටයුතු කළ සීමිත සිද්ධි අතරින් එක සිද්ධියක් ගැන එනම් ඇවන්ගාඩ් වංචාව ගැනයි. හිටපු නාවුක හමුදාපතිවරුන් තිදෙනා සහ ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියේ චෝදනා ලබන්නේ දේශපාලනික අපරාධයක් සම්බන්ධයෙන් නොව කළු-සුදු මුල්‍ය අපරාධයක් සම්බන්ධයෙනි. ඔවුහු ඉතා ලාභදායී පාවෙන අවි ගබඩාවක ව්‍යාපාරය ශ‍්‍රී ලංකා නාවුක හමුදාවෙන් ඉවත් කොට පුද්ගලික සමාගමකට පැවරූ බව කියැවේ. එසේ කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට රුපියල් බිලියන එකොළහක පාඩුවක් සිද්ධ කළ බව වාර්තාගතයි. මේ සිද්ධියට අදාළව නීතිය ක‍්‍රියාත්මක වීම ගැන ජනාධිපතිවරයාට යම් ප‍්‍රශ්නයක් වෙතොත් එහි තිබිය හැක්කේ එක අරුතක් පමණි. එනම් හමුදා නිලධාරීන් සහ ඔහු අභිමත සිවිල් පුද්ගලයන් නීතියට ඉහළින් සිටිය යුතු බවයි. අල්ලස් කොමිසම සහ මුල්‍ය අපරාධ කොට්ඨාශය සමග ඔහුට ඇති ප‍්‍රශ්නය වන්නේ එම ආයතන ඔවුන්ගේම හිතවත්කම් හෝ පක්ෂපාතීත්වයන් මත කටයුතු කිරීම නොව ජනාධිපතිවරයාගේ හිතවත්කම් සහ පක්ෂපාතීත්වයන් මත ඔවුන් කටයුතු නොකිරීමයි.

මහේන්ද්‍රන් මහතා සහ ඔහුගේ බෑනණුවන් අගමැති වික‍්‍රමසිංහගේ අනුග‍්‍රහය මත නීතියට ඉහළින් සිටි බවට කිසි සැකයක් නැත. ඒ වු කලී දණ්ඩ මුක්තිය සකී‍්‍රයව සිටුවා තැබු අවස්ථාවකි. එය නරක ය. ජනාධිපතිවරයා තම කතාවේදී වරණීය දණ්ඩ මුක්තිය (තෝරා ගත් පිරිසක් කෙරෙහි බලපවත්වන දණ්ඩ මුක්තිය) ඉවරයක් කළ යුතු යැයි කීවේ නැත. ඔහු ඉල්ලා සිටියේ මේ වරණීය දණ්ඩ මුක්තිය ඉබාගාතේ යන පුරුද්දෙන් ගලවා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බවට පත්කළ යුතු බවයි. එය සහසුද්දෙන් අශිෂ්ඨ ය. ඉහළ හමුදා නිලධාරීන්ට එරෙහිව නෛතික පියවරක් ගැනීමට කලින් තමන්ට දැනුම් දිය යුතුව ඇතැයි ඔහු කීය. එවැන්නක් ඉල්ලා සිටීමට ව්‍යවස්ථාමය වශයෙන්වත් සදාචාරමය වශයෙන්වත් ඔහුට අයිතියක් නැත. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික ශික්ෂාවක් වන බල විභේදනය පිළිබඳ සංකල්පය උල්ලංඝණය කරයි. එය ජනවාරි අට වැනිදා අතහැර දැමීමට සපථ කළ අතීතයක ගන්දස්කාරය වහනය කරවයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතභේද තිබේ. එහෙත් ඒවා බේරුම් කර ගත නොහැකි මට්ටමකට පැමිණ නැත.

එබැවින් ජනාධිපතිවරයාගේ කතාවෙන් අවුළුවන ලද අර්බුදය කෙටි කාලයකින් සමනය කර ගැනුණි. තමාව වැරදි ආකාරයෙන් උපුටා දක්වන ලදැයි කියමින් ජනාධිපතිවරයාමත් අර්බුදය ලිස්සා යැවීමට බැලුවේය. මේ ආණ්ඩුවේ මුළු කාලය ගමන් කිරීමට ආණ්ඩුවට ඇති ශක්තිය පිළිබඳව තමාගේ ඇති විශ්වාසය ගැන සිය කතාව අවසානයේ තමා සඳහන් කළ බව මේ ගැන කලබල වු ඇමතිවරුන්ට ඔහු පෙන්වා දුන් බවත් වාර්තා විය. ඒකාබද්ධ විපක්ෂයේ’ පුර්ණ සහයෝගය සහිතව පවා තනිකර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ/එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව තේරුම් ගැනීමට තරම් මෛත‍්‍රීපාල සිරිසේන තීක්ෂණ දේශපාලඥයෙකි. ඉලක්කම් නිකංම එකතු වන්නේ නැත. එසේම අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ වෙනුවට ගෝඨාභය රාජපක්ෂව අනුයුක්ත කර ගැනීමට තරම් ඔහු මෝඩද නැත. මන්දයත් එය තමාගේ සහ තම පවුලේ ඉරණම රාජපක්ෂ පවුලට භාර කිරීමකට වෙනස් නොවන බැවිනි. එනිසා දැනට ආණ්ඩුව ඉදිරියට යනු ඇත.

ඇත්තෙන්ම පරදුවට වැටී ඇත්තේ ආණ්ඩුව නොව 2015 ජනවාරියේ අපේක්ෂා කළ දේශපාලනික-මැතිවරණමය පරිවර්තනයේ ඉරණමයි. රාජපක්ෂ අතීතයෙන් තීරණාත්මකව කැඩී වෙන් වීමට ආණ්ඩුවේ තිබු කැපවීම ජනාධිපතිවරයාගේ කෑගැසීම නිසා දැන් විචිකිච්ඡාවට ලක්ව තිබේ. අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ළඟදී ඒමට නියමිත අයවැය සහ නව ත‍්‍රස්ත-විරෝධී නීතිය (ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ පනතට වඩා මෙය වපසරියෙන් පුළුල් ය. භයානක ය.) වැනි වැදගත් කරුණු ජනාධිපතිවරයාගේ කෑගැසීම නිසා ජාතික සංවාද තලයෙන් විතැන්ව ඒ වෙනුවට ව්‍යාකූල ප‍්‍රශ්න කිරීම් සහ ඕපාදූප මුල් තැනට පැමිණ තිබේ. එසේම සති දෙකකට කලින් දේශපාලනික අවකාශය සොලවා ලු යම් සිද්ධියක්ද ජනාධිපතිවරයාගේ කෑගැසීම නිසා මහජන දර්ශන පථයෙන් මැකී ගියේය. එය වනාහී ප‍්‍රථම පුත‍්‍රයාගේ ගැටව් කල්ලියක් කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවකට පහර දුන්නේ යැයි කියන සිද්ධියකි.

ක්ලික් නැමැති කොළඹ සමාජ ශාලාවක සේවකයන්ට පහර දීමේ සිද්ධියට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන සම්බන්ධ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටී. මේ චෝදනාව මාධ්‍යයෙන් නැවත නැවතත් මතු කෙරුණි. එසේ තිබියදී සමාජ ශාලාවේ අයිතිකරු මේ බලපුලුවන්කාර මහ පුත්තුන්ගේ අතීත සහ වර්තමාන ක‍්‍රියාකලාපයෙන් ඔවුන් නිදොස් කොට සහතිකයක් දුනි. එයින් මේ කටකතා වැඩි වුණා මිස අඩු වුණේ නැත. (මීට කලකට පෙර මර්වින් සිල්වා ගසක බැන්ද පුද්ගලයා තමා විසින්ම ගහක බැඳ ගත්තා යැයි කියා සිටි කතාව මතකයට නැගේ.) සමාජ ශාලාවේ සී.සී.ටී.වී. කැමරා දර්ශන අන්තර්ජාලයේ පළ විය. මේ ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කොට ඇතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට දන්වා සිටියේය.

ජනාධිපතිවරයා තමන්ගේ වාචික දුම් බෝම්බය දමා ගැසුවේ මේ අස්සේ ය. එයින් ඇවිළුණු ව්‍යාකූලත්වය තුළ අර කී සමාජශාලා සිද්ධිය යට ගියේය. ජනාධිපතිවරයා නියෝග කළ විශේෂ පරීක්ෂණය ගැන ඉන් පසු කිසිවක් දැන ගන්ට නැත. අළුත්ම වාර්තාවලට අනුව තමන්ට පහර දුන් පුද්ගලයන්ව හඳුනා ගැනීමට පහර කෑ පුද්ගලයන් අසමත් බවත් කියැවේ. මේ සමස්ත සිද්ධියෙන් හමන්නේ අතීතයේ සුපුරුදු දුර්ගන්ධයකි. දේශපාලඥයන්ගේ පැටව් නීතිය තම කිළිටි අත්වලට ගෙන තිබීමේ දුගඳක් ඉන් වහනය වෙයි. දෙමුහුන් ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර පවතින වෙනස්කම් ජනාධිපතිවරයාගේ කතාවෙන් නිරූපණය වුණේ නැත. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටින දණ්ඩ මුක්තිය ගැන ඕනෑම එක්සත් ජාතික පාක්ෂිකයෙකු තරමටම සිරිසේන මහතාට අවංකව සහයෝගය දක්වන සෑම ශ‍්‍රී ලංකාකාරයෙකුමද තක්බීරි වනු ඇත.

රාජපක්ෂ යුගයට නැවත යාමක් එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපහසුව දනවන සහ අසන්තෝසය දනවන කාරණයකි. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සිරිසේන පාක්ෂිකයන්ට එය මාරාන්තික වනු ඇත. රාජපක්ෂලා නැවත බලයට ආවොත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට සලකනවාට වඩා බෙහෙවින් නරකට ද්‍රෝහී ශ‍්‍රී ලංකාකාරයන්ට සැලකීමට ඉඩ තිබේ. එහිදී වැඩියත්ම ඉලක්ක වනු ඇත්තේ ඔවුන්ගේ බලය පෙරලා දැමීමට වැදගත් වැඩ කොටසක් ඉටු කළ හිටපු පක්ෂ ලේකම්වරයාය. බලය දූෂ්‍ය වීමට හෝ නොවීමට පුළුවන. එහෙත් එය සහතික වශයෙන්ම මිනිසුන්ව ජරපත් කරන්නේය. ජනාධිපති වැය ශීර්ෂය අඩු කිරීම ගැන කාලයක් ජනාධිපතිවරයා සාඩම්බරයෙන් කියෙව්වේය. එවැන්නක් තවදුරටත් පෙනෙන්ට නැත. ජනාධිපති කාර්යාලය සඳහා වෙන් කෙරෙන ප‍්‍රතිපාදනය රුපියල් බිලියන හතරකින් වැඩි වීමට නියමිත ය. මෙසේ වන්නේ සාමාන්‍ය මිනිහා මත විනාශකාරී බදු බර පැටවීමට ආණ්ඩුව තැත් කරන මොහොතකය. ආණ්ඩුව කේන්ද්‍රීය කතාවේ පිටපොට පටලවාගෙන ඇති බවට එය තවත් උදාහරණයකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරාබි ලෝකයක් පිළිබඳ සිහිනය ටියුනීසියාවේ උපන්නේ නම් එය ඊජිප්තුවේදී මියගියේය. ඊජිප්තු විප්ලවය ඉදිරියට ගෙන යාමටත් නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවට ඊජිප්තුව පරිවර්තනය කිරීමටත් ඡන්දයෙන් පත්කර ගැනුණේ මොහොමඞ් මෝර්සිවයි. එහෙත් බලයට පත්වු පසු ඔහු එම ජනවරම නොතකා හැරියේය. ඒ වෙනුවට අතීතයේ පැවති නිකායවාදී සහ මර්දනකාරී පිළිවෙත් අනුගමනය කිරීමට පටන් ගත්තේය. පුළුල් ජාතික සන්ධානයක් මුදුනේ හිටගන්නවා වෙනුවට පටු ඉස්ලාමීය න්‍යාය පත‍්‍රයකට ඔහු බිළි වුණේය. විප්ලවයේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට සහ ලිබරල්වාදීන්ට පහර දුන් ඔහු හමුදාවට දොළ පිදේනි දීමෙන් ආණ්ඩුව බේරා ගත හැකි යැයි සිතා දිනෙන් දින අධිකාරීවාදී ස්ථාවරයන් වෙතම තල්ලු විය. ඇති කර ගත් වෙනස පාවා දෙනු ලැබ ඇතැයි වෙනසේ පුරෝගාමීන්ට හැගෙන්ට වන් විට ඔවුහු එක්කෝ ඊට පසමිතුරු වෙති. නැත්නම් අක‍්‍රීය වෙති. සංඛ්‍යාත්මක වශයෙන් කුඩා වුවත් දේශපාලනික වශයෙන් බලසම්පන්න ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග මෝර්සි අවතක්සේරු කෙළේය. තරහ කරගත්තේය. ඊජිප්තු හමුදාව දේශපාලනයෙන් ඈත් කොට තබා ගැනීම සඳහා තමාට එම බලවේග අවශ්‍ය කරන බව මෝර්සි තේරුම් නොගත්තේය.

එය මාරක වරදක් විය. මෝර්සි මහතාට මෙන්ම ඊජිප්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් එය හෙණයක් විය. සිරිසේන මහතාගේ පිපිරීමෙන් ආණ්ඩුව කඩා වැටුණේ නැත. එහෙත් ආණ්ඩුවේ මෙන්ම සිරිසේන මහතාගේත් සමාජයීය සුජාතභාවයට එයින් එල්ල කෙරුණේ බරපතල පහරකි. වාසනාවකට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ප‍්‍රපාතයෙන් ඈත්වීමේ සහ අනාගතය සඳහා වන ගමන යළි ඇරැඹීමේ අවකාශය තවමත් තිබේ. ස්වාධීන කොමිෂන් සභාවල කටයුතුවලට ඇඟිලි නොගසමින් සහ ක්ලික් සමාජශාලාවේ සිද්ධියට අදාළ සැබෑ පරීක්ෂණ ප‍්‍රතිඵල පොරොන්දු වු පරිදි පෙන්වමින් යහපාලන ප‍්‍රතිපදාවන් කෙරෙහි තමාගේ ඇති බැඳීම ජනාධිපතිවරයා ප‍්‍රදර්ශනය කළ යුතුය. දණ්ඩ මුක්තිය මොන තරම් අනර්ථකාරීද යන්න එය සලසා දෙන පියවරුන්ට සේම ඉන් හව්හරණ ලබන පුත‍්‍රයන්ටත් මොන තරම් අනර්ථකාරීද යන්න රාජපක්ෂ පුත‍්‍රයන් දෙස බැලීමෙන් පමණක් වුව සිරිසේන මහතාට දැනගත හැකිය.

දවසක සිරිසේන මහතාට බලයෙන් ඉවත් වීමට සිදු වෙනු ඇත. තමාව ආරක්ෂා කළ හැකි බලසම්පන්න පියෙකු නොලැබෙන දවසක් ඔහුගේ පුතාට එළැඹෙනු ඇත. සිරිසේන මහතාගේ අනුප‍්‍රාප්තිකයා රාජපක්ෂ කෙනෙකු වෙතොත් අද වැඩිමල් රාජපක්ෂ පුත‍්‍රයන් දෙන්නා ඉන්න අවාසනාවන්ත තැනට දහම් සිරිසේන පත්වෙනු ඇත. බැඳුම්කර වංචාව අපරාධයක් සේ සලකා කටයුතු කිරීමට පොලීසියට සහ නීතියට ඉඩ හැරීමෙන් මුලික යහපාලන ප‍්‍රතිපදාවන් කෙරෙහි තමාගේ ඇති බැඳීම අගමැතිවරයා ප‍්‍රදර්ශනය කළ යුතුය. මේ කාරණා සම්බන්ධයෙන් ඔවුන් අසමත් වෙතොත් 2016 ඔක්තෝබර් මාසය අවසානයක ආරම්භයක් සනිටුහන් කරනු ඇත. යාපනේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනෙකු බිහිසුණු අන්දමින් මරා දැමීම වැසැංගීම සඳහා පොලීසිය ගත් ප‍්‍රයත්නය වැළැක්වීමට සිරිසේන මහතා මැදිහත් වීම මගින් පෙන්නුම් කරන්නේ එවැනි වෙනසක් ඇති කිරීමටත් අඩු අවදානම්කාරී මගක ආණ්ඩුව මෙහෙයැවීමටත් ඔහුට තවම හැකියාව ඇති බවයි. ඔහුට එය කළ හැක. එහෙත් ඔහු එය කරයිද යන් ගැටලුවකි.

කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වු ලිපියට ඡායාරූපය ෂොහාන් ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com