විපරීතයන්ගේ දේශපාලනය සහ ආත්මීය මරඋගුල

Feb 6, 2017
ChampikaR1

සිංහල සමාජය අනූව දශකය ආරම්භය වනවාත් සමඟම එහි ස්ථාවර පැවැත්ම සඳහා නියම සංදෘෂ්ටික සතුරකු සොයා ගත්තේය. මෙම සුවිශේෂ දෙමළ දේශපාලන සතුරා නිසා ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය ඊට කලින් අත්නොදුටු චරිත විශාල සංඛ්‍යාවක් කරළියට කැඳවාගෙන ආවේය. එතෙක් දේශපාලනය ධ්‍රැවීයකරණය වී තිබුණේ වම/දකුණ භේදය මුල් කරගෙනය. අනූව දශකය යනු මෙම මුලික ප්‍රතිවිරෝධය යටපත් කරමින් එම අවකාශය සිංහල ජාතිකවාදී දේශපාලනය විසින් පුරවා දැමීමයි. දශක හතරක පමණ කාලයක් රාජ්‍ය බලය සඳහා තරඟ කරන ලද්දේ වම/ දකුණ භේදය මුල් කරගෙනයි.

අසූව දශකය මැද වන විට ප්‍රභාකරන් නම් සංයුක්ත සතුරා වටකොට වාම දේශපාලනය ජාතිකත්වය දෙසට රෝහණ විජේවීර තල්ලු කරන ලදී. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ජාතිකත්වය අභ්‍යාස කළ ඔහුගේ ජීවිතය මරණ ගෙයකින් තොරව කනත්තේ දී අවසන් විය. දේශපාලනයට එයට හිමි නියම ස්වභාවය එන්නේ කොහෙන්ද තවත් ගැඹුරට කිවහොත් මනුෂ්‍යායාට නියම මනුෂ්‍යත්වය එන්නේ කොහෙන්ද යන ප්‍රශ්නය සඳහා ග්‍රීක යුගයේ සිට අද දක්වා විවිධ දාර්ශනිකයන් උත්තර දීමට උත්සාහ දරා ඇත. නමුත් ජර්මන් නීති සම්පාදකයකු සහ දේශපාලන දාර්ශනික දාර්ශනිකයකු කාල් ශ්මිට් විසින් මේ සඳහා ඉදිරිපත් කරන නිර්වචනය ඉතා සිත්ගන්නාසුලුය. ඔහුට අනුව මිනිසාට නියම මිනිස් ස්වභාවය එන්නේ දේශපාලනයෙනි. ඊළඟට දේශපාලනයට මෙම නියම මිනිස් ස්වභාවය එන්නේ සතුරාගෙනි.

සතුරෙක් නැතිව දේශපාලනය කිරීම ලිබරල් දේශපාලනයයි. එහි දී අපට හමුවන්නේ ඉවර නොවන තරම් කතාබහ කර කර සිටිය හැකි සම්භාෂකයෙකි. එහි දී අපට සතුරකු හමු නොවෙයි. අනාගතයේ දී වඩා ගැළපෙන දේශපාලන පක්ෂ ක්‍රමයකින් තොර නිදහස් චින්තනය හෝ ඉවර නොවන තරම් එය ගැන කතා කිරීමද යන ප්‍රශ්නය අදාළ වන්නේ වාම දේශපාලනයට නොව ලිබරල් දේශපාලනයටය. මෙවැනි දේශපාලන කටයුත්තකට ඕනෑම අන්තර්ගතයක් එකතු කරගත හැක. උදාහරණයක් වශයෙන් කාබනික ගොවිතැනට වඩා ගැළපෙන්නේ ලෙනින්වාදයද නැතිනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද වැනි ගැටලුවකි. ප්‍රතිවිරෝධයක් සමඟ ගැටෙනවාට වඩා අපට විරුද්ධාභාසයන් හමුවීම ආස්වාදජනකය.

ජාතිකවාදීන්ට අනුව මනුෂ්‍යයාට නියම මනුෂ්‍ය ස්වභාවය එන්නේ තම දේශපාලන සතුරාගෙන්ය. එය අපට සදාචාර ක්‍රීඩාවේ දී හමු වන්නේ නැත. සදාචාරයේ දී අපට හමුවන්නේ හොඳ නරක මිස සතුරකු නොවේ. ඊළඟට සෞන්දර්ය ක්‍රීඩාවේ දී අපට හමුවන්නේ සුන්දරත්වය සහ කැතයි. එහි ද අපට සතුරකු හමු නොවෙයි. මනමේ නාට්‍යය රසවිඳිනවා මිස වැද්දාව අපට දේශපාලනික සතුරකු කර ගැනීමට ඉඩක් නැත. ඊළඟට ආර්ථික ක්ෂේත්‍රයේ දී ද අපට හමු වන්නේ ලාභය සහ පාඩුව මිස දේශපාලන සතුරකු නොවේ. කෙනෙක් ව්‍යාපාරයක් කරගෙන යනවිට හමු වන්නේ ලාභය සහ පාඩුව වෙනුවෙන් තරග කරන්නෙකු මිස සතුරකු නොවේ.

මනුෂ්‍යයාට නියම මනුෂ්‍ය ස්වරූපය එන්නේ සතුරකු මඟින්ය යන ප්‍රවාදය ලංකාව තුළ තහවුරු වුයේ ජාතිකවාදී දේශපාලනය නිසාය. ජාතිකවාදීන්ගේ කටහඬ තුළ ගැබ්ව ඇත්තේ මෙම නියම මානුෂික ස්වරූපයයි. අනෙක් අතට මෙහි වාම අපගමනය වුයේ දේශපාලනිකයේ නියම ස්වරූපය කුමක්ද කියාය. ඇලන් බදියු, ජාක් රොන්සියාරේ, අර්නෙස්ටෝ ලැක්ලෝ සහ ශන්තාල් මූෆ්, එටියන් බාලිබාර්, ජූඩිත් බට්ලර් වැනි දේශපාලන දාර්ශනිකයන් සොයා යන්නේ දේශපාලනිකයට හිමි සාරයයි. ජාතිකවාදීන් මිනිසාට නියම ස්වරූපය එන්නේ සතුරාගෙන් යැයි කියන විට දේශපාලනිකවාදීන් දේශපාලනයට නියම ස්වරූපය එන්නේ අනෙකා වෙතට දක්වන විවෘත භක්තියෙන් යැයි ප්‍රකාශ කරයි.

අදහසක් හැටියට ගත් විට ජාතිකවාදීන් සහ දේශපාලනිකවාදීන් දේශපාලනය ඔවුන්ට පොදු අවකාශය වු සදාචාරය වෙතට අරගලකරුවන්ව රැගෙන යයි. අවසාන විග්‍රහයක දී ඔවුන් ප්‍රශ්න කරන්නේ රාජ්‍ය පාලනය සඳහා ඇති දේශපාලන සම්බන්ධයයි. කෙටියෙන් කිවහොත් රාජ්‍යය මෙහෙයවන්නේ සමාජ පන්තීන් විසින්ද නැතහොත් මහජනයා විසින්ද යන්නයි. හැත්තෑව දශකය තුළ දී අර්නෙස්ටෝ ලැක්ලෝ මාක්ස්වාදයේ භාවිතාව සහ දෘෂ්ටිවාදය ප්‍රශ්න කරමින් අවධාරණය කරන ලද්දේ පන්තිය වෙනුවට මහජනයා ආදේශ කරමු යන්නය. ඉන්පසු ජාතිකවාදීන්ට මෙම මහජනයාගේ ජාතික අභිලාෂයන් ගැන කතා කළ හැක.

2005 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ ලැක්ලෝගේ ඔන් පොපියුලිස්ට් රීසන් නොහොත් ජනප්‍රිය හේතුව ගැන කෘතිය තුළ ඔහු ෆ්‍රොයිඩ්ගේ සමූහය පිළිබඳ න්‍යාය පවා සන්දර්භයෙන් පිටතට ගෙන ප්‍රකාශ කරන්නේ ධනවාදී නූතනත්වය තුළ පන්තිය යන අදහස වාෂ්ප වී එතැනට ජාතික අභිලාෂයන් සවි වන ආකාරයයි. ඔහු තම ග්‍රන්ථය තුළ දී මහජනයා සංවිධානය කිරීම දේශපාලනිකයේ හරය ලෙස සංස්කරණය කරයි. විසිඑක් වැනි සියවසේ දශක දෙකක ලතින් අමෙරිකානු මහද්වීපයේ රටවල් අපට ඔප්පු කරමින් සිටින්නේ ජාතික අභිලාෂයන්ට පන්තිය සමතික්‍රමණය කළ නොහැකි බවයි.

එය සලකුණු වී ඇත්තේ පන්ති දේශපාලනය සහ ජාතිකවාදී දේශපාලනය සමතික්‍රමණය කරමින්ය. ගම්ලත් දයලෙක්තිකය වටහාගත් පටු ආකාරයට අනුව ගතහොත් පන්ති දේශපාලනයේ සාධනීය අංශත්, ජාතිකවාදයේ නිශේධනීය අංගත් එකට කලවම් කර නිර්මාණය කරන මතවාදය ජනප්‍රියවාදයයි. 2020 නම් අනාගත ලක්ෂ්‍යයට මිනිසුන් සංවිධානය කිරීමට උත්සාහ කරන ජනප්‍රියවාදීන්ගේ උපක්‍රමය කුමක්ද යන්න විමසා බැලුවහොත් එක අතකින් චම්පික සහ රතන අතර ඇති වී තිබෙන ආත්මීය අභ්‍යන්තර ප්‍රතිවිරෝධය නිසා ජාතික දේශපාලනයේ සෙක්කුව කරකවන ගාමක බලවේගය හිර වී ඇත. අනෙක් අතට රනිල් වික්‍රමසිංහගේ පන්ති දේශපාලනය කොල්ල කෑම සහ යළි බෙදාදීම අතර ආත්මීය ප්‍රතිවිරෝධයක හිර වී ඇත.

එය එක පැත්තකින් පන්ති දේශපාලනයේ පන්තිය ඉවතට දමයි. අනෙක් පැත්තෙන් එය ජාතික දේශපාලනයේ ජාතිය ඉවතට දමයි. රනිල්ට ජාතික විය නොහැක්කේ ඔහුට තම පන්ති සාධකය ඉවත් කළ නොහැකි නිසාය. අනෙක් අතට චම්පිකට සහ රතනට තම සිංහලකම ඉවතට දැමිය නොහැක. එම හේතුව නිසා දෙදෙනාටම තම ජාතික දර්ශනය සතු සාධනීය අංග ඉවත හෙළා එහි නිශේධනීය අංග එකතු කර ගැනීමට යථාර්ථය බල කරයි. එමනිසා චම්පිකට පන්තිය දෙසට චලනයක් ඇති අතර රතනට තම දේශපාලන සතුරා දෙසට චලනයක් ඇත. එයින් 2020 දී ජනප්‍රියවාදය වෙතට යෑමේ වැඩි විභවයක් ඇත්තේ රතන හාමුදුරුවන්ටය. චම්පික ආත්මීය මරඋගුලක හිර වී ඇත.

මාක්ස්වාදයත්, ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයත් විද්‍යාවන් ලෙස භාවිතයට ගන්නා අපට එක පැත්තකින් ජාතිකවාදයට හැරිය නොහැක. අප එතැන දී අවධාරණය කරන්නේ පන්තියයි. අනෙක් අතට අපට අනෙකා කෙරෙහි අනන්තයට දිගු වු විවෘතභාවයක් නැත. ඊට අනුව අපි දේශපාලනිකවාදීන්ද නොවෙමු. එම අර්ථයෙන් ගත් විට මනෝවිශ්ලේෂණය අපට උගන්වන්නේ අනෙකාවත් තමන්ගේ ආශාව හෝ අරමුණ නොදන්නා බවයි. එනම් මහජනයා තමන්ට අවශ්‍ය කුමක්දැයි නොදනියි. මෙම හේතුව නිසා ජනප්‍රියවාදය පාර කපන්නේ අවස්ථාවාදයටයි. මාක්ස්වාදීන් වන අප දේශපාලනය නිර්වචනය කරන්නේ සැබෑ රූපය සහ සෙවණැල්ල යන සාධක දෙකටම එකවර අවධානය යොමු කිරීමෙනි. අපට අනුව දේශපාලනය ස්වායත්ත නැත. එය ආර්ථිකය විසින් පරායත්ත කරයි.

දීප්ති කුමාර ගුණරත්න සත්හඬ පුවත්පතට තබන ලද සටහනට ඡායාරූපය රුවන් මීගම්මනගෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com