සුන්දර නීති මැද අසුන්දර පොලිසිය

Sep 21, 2016
sagala-rathnayake

අතුරුදන්වුවන් සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත බරපතළ වාද විවාද මධ්‍යයේ සම්මත කර ගැනීමෙන් ආණ්ඩුව ජයග්‍රහණයක් ලැබුවේ ය. එහෙත් ඉන් දින කිහිපයක් ඇවෑමෙන් අතුරුදන්වුවකු පිළිබඳ ප්‍රශ්නය ඇත්තටම තමන්ගේ මුහුණ ඉදිරියට ආ විට ආණ්ඩුව පරාජය වුණේ ය. අනුරාධපුරයේ දී සුදුවෑන් රියකින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන තරුණ සැමියා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ගාලු මුවදොර දී පැවැත් වු සාමකාමී හැඟීම්බර නිහඬ විරෝධය ඉවසන්නට ආණ්ඩුවට බැරි විය. ඒ ගැන සාධාරණ පිළිතුරක් දෙන්නට ආණ්ඩුවට බැරි විය. එපමණක් නොව ආණ්ඩු වෙනස් වුණාට නම ශ්‍රී ලංකා පොලිසිය හැටියට සරුවපිත්තල වුණාට ඉන්නේ පරණ මර්ධනකාරී මානව හිමිකම් කඩ කරන පොලිසියම බව නොපෙන්වා ඉන්නටවත් ආණ්ඩුව අසමත් විය. එමෙන්ම ඇය වෙනුවෙන් පෙනී සිටි සිවිල් ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමද ආණ්ඩුවේ තවත් නිර්ලජ්ජිත ක්‍රියාවකි.

සිය සැමියා අතුරුදන් කොට අවුරුදු තුනක් ගෙවෙද්දීත් ඔහු ඉන්නේ කොතැන දැයි හොයන ඔහු අතුරුදන් කළේ කවුදැයි හොයන මේ ගැහැනිය සුළුතර දෙමළ නොවේ. බහුතර සිංහල ය. විශේෂයෙන් සුළුතර දෙමළ මිනිසුන් අතුරුදන් කිරීම ගැන සොයා බලන්නට නීතියක් හැදු ආණ්ඩුවක් ඒ ගැන උඩ දම දමා රටේත් පිටරටේත් තොරොම්බල් කරන ආණ්ඩුවක් අඩු ගණනේ බහුතර සිංහල මිනිසකු අතුරුදන් කිරීම ගැනවත් හොයන්නට මේ තරම් පසුබානවා නම් දෙමළ මිනිසුන්ට මෙවැනි නීතිවලින් කිසිම සහනයක් අත් වේ දැයි සාධාරණ සැකයක් මතු කිරීම අප කළ යුතුය. නීති හදන්නට අප ඉක්මන් බව ඇත්තය. එහෙත් ලංකාවේ ඉතිහාසය කියන්නේ අප හදන මහජනයාට යහපතක් වන නීති ක්‍රියාත්මක නොකරන රටක් බවය.

සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලන බිරිඳ කියන්නේ සැමියා අතුරුදන්වීම ගැන සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ය. ඇයට අනුව අතුරුදන් කිරීම පසුපස අනුරාධපුර ශ්‍රී ලංකා පොලිසිය සිටියි. ඉතින් ශ්‍රී ලංකා පොලිසියටම එවැනි පරීක්‍ෂණයක් පැවරීමෙන් වන දේ ඇය හොඳින් දනියි. පසුගියදා ගාලු මුවදොරට ඇය ආවේ අවුරුදු තුනක් තිස්සේ උත්තරයක් නොලැබුණ තමාගේ ප්‍රශ්නය ජනාධිපතිවරයාට කියන්නටය. ජනාධිපතිවරයා එම ප්‍රශ්නයට ඇහුම් කන් දුන්නා නොදුන්නා වේ. ජනාධිපති ලේකම් කාර්යාලය අසළට යන්නටවත් පොලිසිය ඇයට ඉඩ දුන්නේ නැත. එහි පැමිණි හිතුවක්කාර උසස් පොලිස් නිලධාරියා කීවේ ආරක්‍ෂාව ගැන ප්‍රශ්නයක් නිසා එහි යන්නට ඉඩ නොදෙන බවයි. මේ ජනවාරි අට වැනිදාට පෙර පොලිසිය උච්චාරණය කළ වචනමය.

යුක්තිය ඉල්ලා හඬ නගන මෙම තනි ගැහැනියත් ඇයට උදව්වන්නට එතැනට ආ සමාජ ක්‍රියාකාරීන් හතර පස්දෙනාත් ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද යන්න ගැටලුවකි. එසේ තර්ජනයක් වුණත් එය වළක්වා ගන්නට එතැන වට කර ගෙන සිටි පොලිස් ඇණියට හැකිය. මේ ඉහළ පොලිස් නිලධාරියා කළේ මේ ගැහැනියගේ අයිතියට අනීතික ලෙස අකුල් හෙළීමකි. එසේ කරන්නට පොලිස් ආඥා පනත යටතේවත් රටේ නීතිය යටතේවත් ඔහුට බලයක් නැත. ආරක්‍ෂාව හෝ අපරාධයක් ගැන ගැන කිසිම සැකයක් ඇති නොවන තැනක සාමය බිඳීමක් ගැන කිසිම සැකයක් ඇති නොවන තැනක සාධාරණ හා නීත්‍යනුකූල මිනිස් හැසිරීමකට බාධා කරන්නට එරෙහිව බලය යොදවන්නට පොලිසියට පොලිස් නිලධාරියකුට කිසිම අයිතියක් නැත. කිසියම් පොලිස් නිලධාරියකු එසේ කරන්නේ නම් ඔහු කරන්නේ වරදකි. පොලිසියටද අගෞරවයකි.

රට ඉල්ලන්නේ පරණ ක්‍රමය නොවේ. එහෙත් තවමත් රටේ මුල් බැහැගෙන ඇත්තේ එකී පරණ ක්‍රමයම ය. පොලිස් කොමිසම පිහිටුවුවාට අලුත් පොලිස්පති පත් වුවාට මහජනයාගේ පැත්තෙන් තවම ඉන්නේ පරණ ජරාජීර්ණ සහ මර්ධනකාරී පොලිස් දෙපාර්තමේන්තුවම ය. එය වෙනස් විය යුතුමය. වෙනස් කළ යුතුමය. ඒ වෙනස පටන් ගන්නට නම් පළමු ව මෙවැනි අත්තනෝමතික පොලිස් නිලධාරීන්ට එරෙහිවද ක්‍රියා කළ යුතුය. ඒ සඳහා ශක්තියක් ජාතික පොලිස් කොමිසමට ඇතැයි අපි සිතමු. ඒ ගැන තවමත් පැමිණිල්ලක් ලැබී නැති නම් පැමිණිල්ලක් නැතිව පොලිසියේත් පොලිස් කොමිසමේත් ගෞරවය ආරක්‍ෂා කර ගැනීම සඳහා වැඩ ආරම්භ කරන්නට පොලිස් කොමිසමට බැරි නම් මෙම ලියැවිල්ල පැමිණිල්ලක් ලෙස භාර ගන්නට හැකිය.

මුලාශ්‍ර‍ය රාවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com