සෝභිත හාමුදුරුවෝ -ආචාර්ය නලින් ද සිල්වා

Nov 12, 2015
nalin-de-silva

මේ ලිපිය කියවන බොහෝ දෙනකු මා සමග උරණ වීමට ඉඩ ඇත. මා කුහකයකු යැයි ඇතැම් ජනමාධ්‍යවේදීන් කීමට ඉඩ ඇත. එසේත් නැත්නම් තවත් අය මා කෙළෙහි ගුණ නොදත් අයකු යැයි කියනු ඇත. අයකු මළවුන්ගේ අගුණ කීමෙන් මා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ වනු ඇත. මගේ වයස අනුව වුවත් දැන් මට අනෙක් අය මා ගැන කියන දේ ගැන කල්පනා කිරීම අවශ්‍ය නොවේ. ඒ නැතත් මට සමාජයට කීමට අවශ්‍ය යැයි මා සිතන දේ විපාකය නොතකා ප්‍රකාශ කරමි.

මින් වසර විස්සකට පමණ ඉහත දී සෝභිත හාමුදුරුවන් අපවත් වී නම් අද උන්වහන්සේගේ ගුණ ගයන මෙරට ඇමරිකානු තානාපති, ඊනියා රාජ්‍ය නොවන සිවිල් සමාජය, එතෙර හා මෙතෙර අනුකාරක බුද්ධිමතුන් එ.ජා.පක්‍ෂය හා තවත් එවැනි අය කුමක් කීමට තිබිණි ද? එකල සෝභිත හාමුදුරුවෝ චින්තන පර්ෂදයේ සභාපති ධුරය දැරූහ. මම එහි ලේකම් වීමි. මට මතක් වන්නේ සෝභිත හිමියන්ගේ රූපය මුල් පිටුවේ රැගත් මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ බුඩිසම් බිටේරඩ් (Buddhism Betrayed ) කෘතිය ය. තම්බයියා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හා සම්බන්ධ මහාචාර්යවරයකු විය. දෙමළ කතෝලිකයකු වු ඔහු කලකට පෙර අභාවප්‍රාප්ත විය.

අපි චින්තන පර්ෂදයේ ද වෙනත් සංවිධානවල ද එකතුවෙන් ඒ පොතට විරුද්ධව ක්‍රියා කෙළෙමු. තම්බයියා කියා සිටියේ යුද්ධය කළ යුතු යැයි කීමෙන් සෝභිත හාමුදුරුවන් ද අප ද බුද්ධාගම පාවාදී ඇති බව ය. ඒ සම්බන්ධයෙන් බුදුදහම පාවාදීම යනුවෙන් පොත් පිංචක් පළ කිරීමට මට සිදුවිය. අපි බොහෝ විට නාග විහාරයෙහි දී රැස් වී කළ යුතු දේ සාකච්ඡා කෙළෙමු. අපට විරුද්ධව තම්බයියා නිවැරදි යැයි කී අය තම මතය තහවුරු කිරීම සඳහා තායිලන්තයෙන් ද ඊනියා බෞද්ධ විදග්ධයන් ඉදිරිපත් කළහ.

මම සෝභිත හිමියන් මව්බිම සුරැකීමේ ව්‍යාපාරය කාලයේ සිටම හඳුනමි. උන්වහන්සේ ජාතික ව්‍යාපාරයෙහි කටයුතු කර ඇත්තේ එයටත් පෙර ය. සිංහල බල මණ්ඩලය පිහිටුවීමෙහි ලා පුරෝගාමි වු මහතා අසූවේ දශකයේ මුල එංගලන්තයේ සිට ඒ වෙනුවෙන් ම ලංකාවට පැමිණ ඇත. ඔහු දැන් නිහඬ ව ලංකාවේ පදිංචි වී සිටියි. මා සිංහල බල මණ්ඩලයට නොබැඳුණේ එකල මා මාක්ස්වාදයෙන් හා බටහිර විද්‍යාවෙන් බිඳී නොතිබීම හේතුකොටගෙන ය. බටහිර විද්‍යාවෙහි දී බටහිර චින්තනයත් දේශපාලනයේ දී සිංහල බෞද්ධ චින්තනයත් අනුව කටයුතු කිරීමට මට නොහැකි විය. එසේ කළ හැක්කේ දෙබිඩ්ඩන්ට ය.

සිංහල බල මණ්ඩලයවත්, මව්බිම සුරැකීමේ ව්‍යාපාරයවත් සෝභිත හිමියන්ගේ නිර්මාණ නො වීය. උන්වහන්සේ ඒ සංවිධානවල ප්‍රමුඛ කථිකයා පමණක් විය. සියල්ල සංවිධානය කරනු ලැබුයේ වෙනත් අය විසිනි. එහෙත් සාමාන්‍ය ජනතාව සිතුවේ ඒ සියල්ල සෝභිත හිමියන් සංවිධානය කළ බව ය. උන්වහන්සේගේ චතුර කථිකත්වය හේතුකොටගෙන තම්බයියාට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද පෙනී ගියේ උන්වහන්සේ ඒ සංවිධානවල නායකත්වය ඉසිළු බව ය. සෝභිත හාමුදුරුවෝ නායකයෙක් නොවූහ. නායකත්වය උන්වහන්සේට පිටතින් ආරෝපණය කරනු ලැබිණි. පළල් සමාජයට තබා දේශපාලනඥයන්ටවත් ඒ බව අවබෝධ නො වීය. ධර්ම දේශකයකු ලෙස උන්වහන්සේ ලබා තිබූ ප්‍රසිද්ධිය ද මේ ආරෝපිත නායකත්වයට හේතුවක් විය.

චින්තන පර්ෂදයේ සභාපති ලෙස උන්වහන්සේ අපට කාලය සඟරාව මුද්‍රණය කිරීමෙහි ලා උපකාර කළහ. අප මුල් කාලයේ දී කාලය සඟරාව මුද්‍රණය කෙළේ උන්වහන්සේ සභාපතිත්වය දැරූ අමද්‍යප තරුණ පුහුණු මධ්‍යස්ථානයේ මුද්‍රණාලයේ ය. කිසි දිනෙක ලාභ නොලැබ පාඩුවට පවත්වාගෙන ගිය කාලය සඟරාව වෙනුවෙන් චින්තන පර්ෂදය එකි මුද්‍රණාලයට ගෙවිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් අත්හැරවීමට උන්වහන්සේ මැදිහත් වූහ.

නායකයකු නොවුවද ජාතික ව්‍යාපාරයේ කැපී පෙනෙන සමාජගත ආරෝපිත නායකයා වූ සෝභිත හාමුදුරුවෝ අනූවේ දශකයේ අග භාගය වන විට ඒ කටයුතුවලින් ඈත් වුහ. අප සමඟ තිබු සම්බන්ධතා ඉන්පසු නැති විණි. උන්වහන්සේ දක්‍ෂිණාංශික පාප මිත්‍රයන්ගේ ඇසුරට පත්විය. ඒ මිතුරෝ උන්වහන්සේ ක්‍රමයෙන් වෙනත් අතකට යොමු කළහ. පාප මිතුරෝ එ.ජා.පක්‍ෂයට හිතවත් වුහ. ඔවුන් සමග උන්වහන්සේ වාම දේශපාලනයක සිට දක්‍ෂිණ කඳවුරට ගමන් කළහ.

මෙහි දී අපට පල්ලි නිකාය හා පස්ගව මහණුන් සිහිවෙයි. සෝභිත හාමුදුරුවන්ගේ මේ වෙනස ජාතිකවාදියකු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු බවට පත්වීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි ය. එය හුදෙක් ආරෝපිත නායකයකු තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් දක්‍ෂිණාංශික දේශපාලනය දෙසට තල්ලු කිරීමක් විය. තමන්ගේ ම වු දැක්මක් නොමැති වු සෝභිත හාමුදුරුවන් එසේ වෙනස් වීම අපට තේරුම් ගත හැකි විය. උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයකු වු නමුත් ධර්මය පිළිපැද පාප මිත්‍ර සේවනයෙන් මිදීමට තැත් නො කළහ. පාප මිත්‍ර සේවනයේ යෙදෙමින් ම පාප මිත්‍ර සේවනයේ ආදීනව ගැන උන්වහන්සේ දේශනා කළහ.

පසු කලෙක ජාතික හෙළ උරුමය බවට පත්වූ දේශපාලනඥයන් ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ තම දේශපාලනය උදෙසා යොදා ගැනීමට සෝභිත හාමුදුරුවන්ගේ ආරෝපිත නායකත්වය පාඩමක් වුයේ දැයි නො දනිමි. රතන හිමියන් හැර ජාතික හෙළ උරුමයේ නායකත්වයේ සිටි භික්‍ෂූන් වහන්සේ ද හුදෙක් ආරෝපිත නායකයෝ පමණක් වූහ. අපි සෝභිත හාමුදුරුවන් ජාතිකවාදියකු ලෙස වැඩ සිටි කාලයේ සිදුකරන ලද ජාතික සේවාව අමතක නොකරමු. විශේෂයෙන් ම ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට, පළාත් සභාවලට, දෙමළ බෙදුම්වාදයට එරෙහිව රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය වෙනුවෙන් කරන ලද උද්ඝෝෂණ, විරෝධතා ආදිය පිළිබඳ ව ජාතියේ ප්‍රණාමය උන්වහන්සේට හිමිවෙයි. එහෙත් උන්වහන්සේ අපවත් වූයේ ඇමරිකානු තානාපතිගෙන් සහතික ලත්, දෙමළ ජාතිවාදයේ අතකොළුවක් ලෙසිනි. උන්වහන්සේ ආරෝපිත නායකත්වය දැරූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ද ඉන්දීය හා වෙනත් රටවල ඒජන්තයන් විසින් පිහිටුවන ලද්දකි.

ඉන්දියාවට, එංගලන්තයට හා ඇමරිකාවට අභව්‍ය වුයේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීම, චීනය සමග වු සම්බන්ධතා අවමයක් කිරීම හා දෙමළ ජාතිවාදයට අවශ්‍ය දේ සැපයීම ය. ඔවුහු ද ඔවුන්ගේ ඒජන්තයෝද දෙමළ ජාතිවාදයට කප්පන් දීම ඉදිරියට නොගැනීමට වග බලාගත්හ. ඔවුන් ඊනියා භීෂණයට හා දූෂණයට එරෙහි ව්‍යාපාරයට ප්‍රමුඛත්වය දී දෙමළ ජාතිවාදයට කප්පන් දීම යටගැසූහ. එහි දී ඔවුන්ට හමු වූ බලවත් ම පුද්ගලයා සෝභිත හාමුදුරුවන් විය. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියට කැමති සෝභිත හාමුදුරුවෝ කැරොල් කරත්තයට කියන්නටත් පෙර ගොඩවූහ. උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෛත්‍රි රනිල් දුස්සංයෝගයට සහාය දුන්හ.

මෛත්‍රි රනිල් ආණ්ඩුව ගැන පසුකාලීනව උන්වහන්සේගේ අකමැත්තක් විය. තව කලක් වැඩ සිටියේ නම් ඇතැම් විට උන්වහන්සේ මේ ආණ්ඩුවට විරුද්ධ වීමට ද තිබිණි. වැරදි දේශපාලනයක නිරත වී පසුව එයට අකමැතිවීම මගින් ද පෙන්නුම් කෙරුණේ උන්වහන්සේට දැක්මක් නොවූ බව ය. දැක්මක් ඇති අයකු රනිල් වික්‍රමසිංහ ගැන වැරදි තීරණයකට නොඑළඹෙනු ඇත. උන්වහන්සේට පහරදුන්නේ රනිල්ගේ මාමාගේ ආණ්ඩු කාලයේ දී බවත් එකල රනිල් වික්‍රමසිංහ ද කැබිනට් ඇමතිවරයකු වූ බවත් උන්වහන්සේට අමතක විණි දැයි නො දනිමු. මෙහි දී උන්වහන්සේ පෞද්ගලිකව ඒ සියල්ලට සමාව දුන්නේ යැයි කෙනකුට කිව හැකි ය. එහෙත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය අමතක කළ හැකි ජාතිකවාදියකු නැත. කෙසේ වෙතත් එකල උන්වහන්සේ ජාතිකවාදියකු නොවූ අතර සෑමදාමත් මෙන් ම පැහැදිලි දැක්මක් ඇත්තකු ද නොවුහ.

අද සිදු වී ඇත්තේ කුමක් ද? සෝභිත හාමුදුරුවන්ට නායකත්වය අරෝපණය කළ විජාතික බලවේග උන්වහ්සේගේ ද කරපිටින් බලයට පත්වී තවමත් දුෂණය හා භිෂණය ගැන කතාකරමින් දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙනු දැකිය හැකි ය. ජිනීවා යෝජනා මගින් රණවිරුවන්ට දඬුවම් දීමට උත්සාහ කරන්නෝ මිනීමරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡා පවත්වති. දේශපාලන සිරකරුවා හා මිනීමරුවා අතර වෙනස විජාතික බලවේග විසින් අමතක කෙරෙයි. සෝභිත හිමියන් එදා විරුද්ධ වු දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට එහිමියන්ගේ ද සේවය ලබමින් විජාතික බලවේග විසින් බලයට පත්කෙරුණු ආණ්ඩුව සැරසෙයි. දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය හැකිනම් මුළු ලංකාවම දෙමළ රාජ්‍යයක් කිරීම ය. මධ්‍යයෙහි දෙමළ නායකත්වයක් ඒ සඳහා අවශ්‍ය වෙයි. දෙමළ වෙල්ලාල නායකයන්ට මධ්‍යයෙහි නායකත්වයට පැමිණීමට නොහැකි බැවින් ඔවුහු වෙන ම රාජ්‍යයක් උදෙසා අරගල කරති. සිංහල ග්‍රාමීය නාම දෙමළ බවට පත්කළ මිනින්දෝරුවන් අනුගමනය කරමින් උතුරු පළාත් සභාව නාගදීපය නයිනතිවූ යනුවෙන් නම් කළ යුතු යැයි පවසන බව අපවත් වූ සෝභිත හිමියන්ට දන්වන්නේ කෙසේ ද? මහියංගණං නාගදීපන් ගාථාව වෙනස් කිරීමට ඊනියා උගතුන්ගේ බසින් නම් පශ්චාත් සෝභිත හිමි සමයේ සිදු වෙි ද? අපවත් වී වදාළ සෝභිත හාමුදුරුවන්ට ඉක්මණින් ම නිවන් සැප ලැබේවා!

මූලාශ්‍රය කාලය

8 thoughts on “සෝභිත හාමුදුරුවෝ -ආචාර්ය නලින් ද සිල්වා

  1. Ananda Abeywickrama says:

    Kata athi paliyata katha karana, Kovakata hira unu, pattah jathivadi mevani debiddanta swabawa dharmaya uttara denawa.

  2. wenura says:

    නලින් ද සිල්වාට අනුව දැක්මක් ඇති කිහිපදෙනා අතර ඔහුට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. තමන් කියනා දෙයම හරියැයි යන මතවාදය කරපින්නා ගැනීම යමෙකුට කෙතරම් හානිකර විය හැකිද යන්නට දියහැකි හොදම උදාහරණය මහාචාර්ය නලින්ද සිල්වායි.

  3. Vintage says:

    ඔබ කියනවා සෝභිත තෙරුන්වහන්සේ පසුකලෙක පාපමිත්‍ර ඇසුරට ගියා කියල. එය ඔබ දකින විදිහ. ඔබ නිවැරදි වන්න පුළුවන්. බුදු දහම තනි ජාතියකට අයිති දෙයක් නෙවෙයි. ඉහත ලිපිය කියවු විට මට තේරුම් යන්නේ සෝභිත හාමුදුරුවන්ට වඩා ඔබ පක්ෂ දේශපාලනයෙන්/පාට කන්නාඩි වලින් ලෝකය දකින්නෙක් ලෙසයි.

  4. tony says:

    Why talk now when the man is dead and gone? that shows what sort of a coward Nalin De Silva is! Let the dead rest in peace!

    1. සුමනරත්න says:

      රටක ආරාක්ෂාව වැඩි වනුයේ බෙදීම් නැති හෝ අඩු විටය. කුමන හෝ වර්ගවාදයක් රටක ආරක්ෂාව දුර්වල කරයි. එමනිසා වර්ගවාදයන් කලමනාකරණය නර ගැනීම වර්තමානයේ ඇති විසදුමයි. අතීතයේ දී එය යටපත් කොට පාලනයට හැකි විය. එහෙත් වර්තමානයේ එය කල නොහැකිය. එමනිසා මැලේසියාව ද එසේ කරමින් සිට කලමනා කරණ ක්‍රමයට මාරු විය. සිංගපූරුව වඩා සාර්තක රටකි, ඒ ඔවුන් වර්ගවාදයන් ඉතා මනා ලෙස හසුරුවගත් නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය නිසා කලමනාකරණය අනාගතයේ ඇති එකම මග වේවි. එනිසා එයට අනුව දැන්ම හැඩ ගැසෙමු. හදවතට නොව බුද්ධියට ඉඩ දෙන්න. සෝභිත හිමියන් එය සිදු කලේය.

  5. Chakapuuter says:

    Prof. Nalin may not be 100% right. but the bitter truth is “…එහෙත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය අමතක කළ හැකි ජාතිකවාදියකු නැත.” How can a person in his age of 70s cannot understand the conspiracy of the Mithree-Ranil-Chandrika. He may be resting in peace but truth is bitter and should reveal.

  6. Devaka says:

    තමා ලෙනින්වාදියකුව සිටි කාලයේ ජාතිකවාදය පට්ට ගැසූ බව නලීන්ට මතක නැත. ජාතිකවාදයේ කිමිදී සිටියදී සැබටිකල් ලැබුණු ගමන් එංගලන්තයට දුවපු හැටි නලීන්ට මතක නැත. තම දරුවන් රෝයල් කොලීජියට යවා, එලකියුෂන් පංතිවලින් ඉංග්‍රීසි පොවා පසුව ඔය කියන අධිරාජ්‍යවාදී රටවලටම යැවු බව නලීන්ට මතක නැත. මහින්දගේ කාලයේ රෙජීමයෙන් විසි කල කටු ලෙවකමින් සිදුවූ දහසකුත් දුෂණ භීෂණ දෙස නොබලා මුනිවත රැකි හැටි නලීන්ට මතක නැත. මහින්දට එරෙහිව නැගී සිටි හමුදා නායකයන් පවා සිරගෙවල් වල දස වද විඳින අයුරු දැක දැක පොඩ්ඩක් වැරදුනා නම් තම ජීවිතයද අහිමි වන බව දැනගෙන සෝභිත හිමි ඉදිරියට ආ බව නලීන්ට පෙනෙන්නේ නැත. සෝභිත හිමිට යම් යම් අවස්ථාවල වැරදුනා විය හැක. එහෙත් එතුමා මේ මනුස්සයා වැනි කුහක පුබ්බඩයකු නොවන බව නම් සහතිකය.

  7. helanka says:

    අද සිදු වී ඇත්තේ කුමක් ද? සෝභිත හාමුදුරුවන්ට නායකත්වය අරෝපණය කළ විජාතික බලවේග උන්වහ්සේගේ ද කරපිටින් බලයට පත්වී තවමත් දුෂණය හා භිෂණය ගැන කතාකරමින් දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙනු දැකිය හැකි ය. ජිනීවා යෝජනා මගින් රණවිරුවන්ට දඬුවම් දීමට උත්සාහ කරන්නෝ මිනීමරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡා පවත්වති. දේශපාලන සිරකරුවා හා මිනීමරුවා අතර වෙනස විජාතික බලවේග විසින් අමතක කෙරෙයි. සෝභිත හිමියන් එදා විරුද්ධ වු දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට එහිමියන්ගේ ද සේවය ලබමින් විජාතික බලවේග විසින් බලයට පත්කෙරුණු ආණ්ඩුව සැරසෙයි. දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය හැකිනම් මුළු ලංකාවම දෙමළ රාජ්‍යයක් කිරීම ය. මධ්‍යයෙහි දෙමළ නායකත්වයක් ඒ සඳහා අවශ්‍ය වෙයි. දෙමළ වෙල්ලාල නායකයන්ට මධ්‍යයෙහි නායකත්වයට පැමිණීමට නොහැකි බැවින් ඔවුහු වෙන ම රාජ්‍යයක් උදෙසා අරගල කරති. සිංහල ග්‍රාමීය නාම දෙමළ බවට පත්කළ මිනින්දෝරුවන් අනුගමනය කරමින් උතුරු පළාත් සභාව නාගදීපය නයිනතිවූ යනුවෙන් නම් කළ යුතු යැයි පවසන බව අපවත් වූ සෝභිත හිමියන්ට දන්වන්නේ කෙසේ ද? මහියංගණං නාගදීපන් ගාථාව වෙනස් කිරීමට ඊනියා උගතුන්ගේ බසින් නම් පශ්චාත් සෝභිත හිමි සමයේ සිදු වෙි ද? අපවත් වී වදාළ සෝභිත හාමුදුරුවන්ට ඉක්මණින් ම නිවන් සැප ලැබේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com