හිට්ලර් ගියා, චැප්ලින් ආවා. ඇයි අවුල්ද? -චින්තන

Oct 25, 2015
Mahendra-Perera

‘හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ‍්‍රස් නෑ’ ජැක්සන් ඇන්තනි එයාගෙ ෆිල්ම් එක ගැන පෝස්ටරයක් ලංකාව වටේ අලවලා තිබුණ. චිත‍්‍රපටියෙ කතාවට සම්බන්ධ නැති දේශපාලනයක් මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇතුළෙ වැඩ කරනවා. ඒ හින්දම ඒක සෑහෙන්න මීඩියා වලත් ෂෙයාර් වෙන්න ගත්ත. ෆිල්ම් එක පැත්තකින් තියල මේ කතාව එලියෙ දේශපාලනයත් එක්ක ඉස්සෙල්ල ගලපලා බලන්න වටිනවා. මේ වචන පේලියේ තියෙන සාර්ථක බව වෙන්නෙ මේක මේ වෙනකොට ගොඩක් අය එකඟ වෙමින් සහ බාර ගනිමින් ඉන්න තත්වයක් වීම. ඊටත් වඩා මේක පහුගිය මහින්ද ආණ්ඩුවට කඬේ ගිය ජැක්සන් ඇන්තනි, මාලින්ද සෙනෙවිරත්න වගේ අයටත් යහපාලන ආණ්ඩුවට කඩේ ගිය නිර්මාල් වගේ අයටත්, පතෝල වගේ හිටපු සුමිත්, විදර්ශන වගේ අයටත් එකට හිටගන්න පුළුවන් තැනක් වෙන එක. හිටියෙ හිට්ලර් කියල එකඟ වෙන එක ඇතුළෙ ආවෙ චැප්ලින් කියලා එකඟ වෙන්න තීරණය කරනවා.

ඒත් නිර්මාල් වගේ දේශපාලන දැනුමක් සහිතයි කියල එලියෙ ඉන්න අය විසින් බාර ගන්න කෙනෙකුත් මේ වගේ ආස්ථානයකට ඒම ටිකක් විහිළු සහගතයි. මෑතක එයාගෙ ෆේස්බුක් පිටුවෙ ෂෙයාර් වෙච්ච අදහස් වලින් කියවුනෙ මේ ආණ්ඩුව පත් කර ගැනීම නිසා තමන් නාගනිමින් ඉන්නවා වගේ අදහස් පෙලක්. එතකොට සරලවම ගිය ආණ්ඩුවත් අප්සෙට්, ආපු ආණ්ඩුවත් අප්සෙට් කියන වාමාංශික පතෝල පිළිවෙතට ලේසියෙන්ම ස්ථානගත වෙන්න පුළුවන්. අපත වැඩ කරමින් හිටපු පරණ ආණ්ඩුවේ කලා-දේශපාලන බවතුන්ටත් කිසි අවුලක් නැතුව මඩ ටික හෝදගෙන එක මේසෙ ඉඳගන්න පුළුවන්. කවදාවත් බිහි නොවෙන පරම සුචරිත, සුබවාදී සමාජයක් එනකල් මේ ජෝක් එක දිගටම කරගෙන යන්නත් පුළුවන්.

ගිය ආණ්ඩුවට සාපේක්‍ෂව මේ ආණ්ඩුව ගැන කතා කරන්නවත් බෑ කියන එකයි මගේ අදහස. ඒක හිට්ලර්ගෙ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවෙ මිනිස්සුන්ට හිනාවෙන්න පවා තහනම්. එතකොට හිට්ලර්ව ජෝක් කරන චැප්ලින් එන එක විය යුතු සහ කළ යුතු ප‍්‍රගතිශීලී වැඩක්. එක ලයින් එකට කියවුනාට හිට්ලර් සහ චැප්ලින් කියන්නෙ ප‍්‍රතිවිරුද්ද ප‍්‍රතිපක්ෂ. එතකොට හිට්ලර් ගිහින් චැප්ලින් ආපු එකෙන් ලංකාවට ඇඩ‍්‍රස් නැති වෙන්න බෑ.

අලුත් ආණ්ඩුවේ අවුල් සහ ආකර්යක්ෂමතා ගැන ලොකුවට කණස්සලු වෙන අය විසින් මතක තියාගත යුතු වෙන්නෙ පහුගිය කාලෙ හා සසඳන විට ඒවා නොතකා හැරිය හැකි තරම් කුඩා වගයි. එහෙම වුණත් ඒවා බරපතල විදිහට ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් සටන් කිරීම සහ විරෝ්ධය දැක්වීම අවශ්‍යයි. ආණ්ඩුවක් පත්කර ගෙන නිදහසේ තමන්ගෙ වැඩක් කර ගෙන ඉන්න බලාපොරොත්තු වුණු දේශපාලන ක‍්‍රියාකාරිකයන්ට මේක ටිකක් අමාරු තත්වයක් වෙන්න පුළුවන්. ඒත් දේශපාලනය ගැන, විශේෂයෙන් ආසියාතික දේශපාලනය ගැන යම් පමණක හෝ අවබෝධයක් තියෙන ඕන කෙනෙක් දන්නවා පුරවැසියන්ගේ සංවිධානගත මැදිහත්වීම් කොයිතරම් අවශ්‍යද කියන එක. බිඳ වැටුණු පද්ධතීන් සහ විස පෙවුණු ආකල්ප නැවත හැරවීම කියන්නෙ දැවැන්ත වැඩක්. ඒකට විශාල සංස්කෘතික ව්‍යාපාරයකුත් සිද්ද වෙන්න ඕන.

ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ලොකු අවකාශයක් විවෘත වීමයි යහපාලනයේ ලොකුම වැදගත්කම. කොටින්ම ජැක්සන්ට මේ වගේ පෝස්ටරයක් පවා අලවන්න පුළුවන් වීමයි මෙතන තියෙන වෙනස. මේක ගෝඨාභයගෙ ආණ්ඩුව වුණා නම් මේ පෝස්ටරය මුද්‍රණය කරන්න තැනක්වත් හොයාගන්න වෙන්නෙ නෑ (ජැක්සන්ට නං නෙමෙයි). මේ අවකාශය ඇතුලෙ දැනටමත් ලොකු සංවාදයන්, කතිකාවන් සිද්ධ වෙමින් යනවා. ඒත් දෙමළ සිංහල ප‍්‍රශ්ණෙම ලංකාවෙ එකම ප‍්‍රශ්ණෙ විදිහට සලකන වම්මුන්ට පාන් බාගෙකට වඩා දෙයක් පේන්නෙ නැති එක සාමාන්‍යයි. ඒක හින්ද ඇත්තටම නම් අදහස වෙන්න ඕන හිට්ලර්ව ගෙදර යැව්වා. චැප්ලින්ව ගෙනාවා. ඇයි අවුල්ද කියන එකයි. වෙනස තියෙන්නෙ අපි චැප්ලින්ව දකින්නෙ නිකන්ම ටෙනිසන් වගේ ජෝකර් කෙනෙක් විදිහටද, අදහසක්, ආර්ට් එකක් සහිත දියුණු ප‍්‍රකාශකයෙක් විදිහටද කියන එක උඩ.

කොහොම වුණත් ඇඩ්වර්ටයිසින් වලට පාවිච්චි වෙන මේ වචන පේලිය ෆිල්ම් එකට සම්බන්දයක් නෑ. කොටින්ම ෆිල්ම් එක ගැන කලින් එලියට ආපු ගයාන්ගෙ සිංදුවවත් ෆිල්ම් එකට සම්බන්ධ නෑ. වෙන විදිහකට කිව්වොත් ජැක්සන් ඇන්තනිගෙ පුනරාගමනයක් බලාපොරොත්තුවෙන් ගිය මට ටයිට්ල් ට‍්‍රැක් එකෙන් පස්සෙ චිත‍්‍රපටියක් නැති වුණා. එතකොට තිබුනෙ ඇඩ් එකක් විතරයි, ප්‍රොඩක්ට් එකක් නෑ.

මට ෆිල්ම් එක ගැන ඇත්තටම කියන්න තියෙන දේ ෆිල්ම් එක හෝල් එකට එන්නත් කලින් කියන එක එච්චර සදාචාරාත්මක නෑ කියල හිතෙන හින්ද ඒ විස්තර පස්සට තියන්නම්. ඒත් මට ජැකාගෙන් අහන්න තියෙන එක ප‍්‍රශ්නයක් තියෙනවා. එතකොට මුඩුක්කුවල ඉන්නෙ ගණිකාවො. සිද්ධ වෙන්නෙ හිඟන බිස්නස් සහ පාතාල ගණුදෙනු (ඒත් කොතනකවත් කුඩු එහෙම නෑ). මුඩුක්කුවෙ උන්ටත් ඕන එතනින් ගැලවිලා උස තට්ටු බිල්ඩින් වලට යන්න (සහස්පුර වගේ). ඒක හින්ද ගෝඨාභය විසින් කරගෙන ගිය කොළඹ මුඩුක්කු ඉවත් කිරීම කොයි පැත්තකින් බැලුවත් මාර ප‍්‍රගතිශීලීයි. මාර මානුෂීයයි. ඒකද මේ කතාව? (විදර්ශනත් ඒ මොහොතේම මේ ප‍්‍රශ්නෙ මතු කළා) දෙමළ සිංහල ප‍්‍රශ්ණෙට පස්සෙ මහින්ද චින්තනයෙ ඊළඟ අදියර කොළඹ සුද්ධ කිරීමේ කැම්පේන් එක වෙනුවෙන්ද මේ චිත‍්‍රපටිය හැදෙන්නෙ? ජැක්සන් මේ හිට්ලර්ව චැප්ලින්ට අන්දන්න හදන්නෙ කාව ජෝක් කරන්නද? ඔන්න ලොකු අයියෙ ඔයාට ඇඩ‍්‍රස් නැති වෙන තැන.

චිත‍්‍රපටිය ගැන කතාව පස්සට තියල චිත‍්‍රපටියට කලින් ජැක්සන් කරපු කතාව ගැන කියන්නම්. එතනදි එයා වැදගත් දෙයක් කියනවා. අපේ සමස්ත සිනමාවම දැනට රදා පවතින්නෙ ඉන්දියාවෙ එකම ප‍්‍රින්ටින් මැෂින් එකක ඇණ මුරුච්චියක් උඩ කියල. තාමත් ඩිජිටල් නොවීම හරහා තමන්ගෙ චිත‍්‍රපටියට වෙන අසාධාරණය ජැක්සන් එතනදි මතු කළා. අත්දෙකම උස්සලා එකඟයි මේ අදහසට. ඒත් ඒක මතු කරපු විලාශයේ තියෙනවා අර්බුදයක්.

තමන්ගෙ චිත‍්‍රපටියට හෝල් 38ක් (ඒ වගේ ගානක්) ලැබෙද්දි ඉන්දියාවෙ අලුතෙන්ම රිලීස් වෙන චිත‍්‍රපටියකට බාල ඊ-සිනමා ප්‍රොජෙක්ටර් හයි කර ගත්ත හෝල් 37ක් (වගෙයි මතක) ලැබීමේ අභාග්‍ය ගැන එයා එතන කණස්සලු වුණා. ඒත් ඩිජිටල් සිනමාව ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටීමත් ඊ-සිනමා ප‍්‍රදර්ශනය ගැන කණස්සලු වීමත් එකිනෙකට ප‍්‍රතිවිරුද්ධයි. කවර හෝ තමන්ට ආයෝජනය කළ හැකි මට්ටමක ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් සමග මේ ශාලා හිමියන් ඩිජිටල් ප‍්‍රදර්ශනයට එක්වීම ගැන සතුටු වීමයි සිද්ධ වෙන්න ඕන. ඒ හෝල්වල පෙන්නන්නෙ ඉන්දියානු චිත‍්‍රපටියක් වීම ගැන ලාංකේය චිත‍්‍රපටකරුවන් ලැජ්ජා වෙන්න ඕන. ඒ අපිට අපේ දේශීය සිනමා ශාලාවලට විශ්වාසය ඇති කරවන චිත‍්‍රපට නිර්මාණය කරන්න බැරි වීම ගැන. ඒක සිංහල, දෙමළ ප‍්‍රශ්නයක් වගේ තැනකට ලඝු කිරීම හෝ දේශීය, විදේශීය බෙදුම් කඩනයකට ලක් කිරීමට වඩා ඩිජිටල් ප‍්‍රක්‍ෂේපන තවත් පුළුල් කර ගැනීමයි මෙතනදි ඇත්තටම වැදගත්. දැවැන්ත ඉන්දියානු සිනමාව එක්ක අපිට උරෙන් උර සටන් වදින්න බැරිවීමේ ප‍්‍රායෝගික තත්වයන්ට මුහුණ දෙන්න නම් ඒ ගෙන්වනු ලබන සිනමා කෘති වලට බදු පැනවීමක් වගේ දෙයක් ගැන හිතල බලන්න පුළුවන්. ඒත් ලංකාවෙ නිෂ්පාදනය කරන චිත‍්‍රපට බොහොමයකට මොකක් හරි විදිහක සිනමාවට බාහිර රැුකවරණයක් නැතුව පේ‍්‍රක්‍ෂාගාරයක් දිනාගන්න අමාරුයි. ඒක සිනමා නිර්මාණාත්මක බවේ අඩුවක් වගේම ඒ අඩුව පිරිවිය හැක්කේ තවත් තොත්ත බබාකරණය කිරීමෙන් නොව දියුණු තරගකාරීත්වයකට මුහුණ දෙන්න සැලැස්වීමෙනුයි.

ඒ වගේම ජැක්සන් විසින් ඊ-සිනමා ප්‍රොජෙක්ටර් හයි කරපු බාල සිනමා ශාලා ගැන කතාව කියන්නෙම ඊඒපී මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින්. සිනමාව ඩිජිටල් කිරීම තව තවත් ප‍්‍රමාද කරන්නට නොයෙක් දේශපාලන බලවතුන් එක්ක ඩීල් දාන ලංකාවෙ සිනමා පරිහානියට මූලික වශයෙන් වගකිව යුතු මණ්ඩලයකට ප‍්‍රශංසා කරමින් සිනමාව ඩිජිටල් කිරීම ගැන කතා කරන එකත් විහිළුවක්. සිනමාව ඩිජිටල් වීම හරහා අලූතෙන් නව සිනමා ශාලා සහ මණ්ඩල නිර්මාණය වීම අනිවාර්යයි. ඒ වගේම තවත් නොයෙක් ප‍්‍රදර්ශන ක‍්‍රමයනුත් විවෘත වේවි. එතනදි ප‍්‍රධානවම අර්බුදයට යන්නෙ මේ වෙද්දි සිනමාව නඩත්තු කරමින් තමන්ගෙ ලාබ උපරිම කර ගැනීමේ යෙදෙන සිනමා පවුල් කීපයයි (ඊ්ඒපීත් ඇතුළුව). මේ කර්මාන්තය විවෘත වීමෙන් සහ පුළුල් වීමෙන් ඔවුන්ගේ අධිකාරී බලය පිරිහී යනවා. එතකොට ජැක්සන් මේ නව ඩිජිටල් සිනමා ප‍්‍රක්‍ෂේපන වලට දොස් පවරමින් ඊඒපී මණ්ඩලය ආරක්ෂා කරන හේතුව පැහැදිලියි. ඒක සිනමාව ගැන සැබෑ කාරණයකට වඩා තමන්ගේ නියෝජිතභාවය සහ පක්ෂපාතභාවය ගැන ප‍්‍රකාශනයක් විදිහටයි මම දකින්නෙ.

කොහොම වුණත් මේ සංවාදය වඩා විවෘත වීම වටිනවා. ලාංකේය සිනමාව ඩිජිටල් කිරීම කියන්නෙ ව්‍යාපාරික පවුල් කීපයකගේ උවමනාවන් මත ඇති කරන ප‍්‍රතිසංස්කරණ කීපයක් නොවිය යුතුයි. පරණ සිනමාවට යන්න කියන මේ මොහොතේ පරණ සිනමා අධ්‍යක්‍ෂවරුන් ගොඩකටද පැන්ෂන් යන්න සිද්ද වෙන බව පැහැදිලියි. එළඹෙන්නෙ සිනමාව ප‍්‍රජාතාන්ත‍්‍රීකරණය වෙන අලුත් යුගයක්. ඒක චැප්ලින්ගෙන් නතර නොවී ගප්පියා දක්වා එන වග මතක තියාගන්න ඕන.

මූලාශ්‍රය කල්ට්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com