ධනවාදයේ පියා චීන සංචාරයක -දීප්ති කුමාර ගුණරත්න

Oct 23, 2016
deepthi1

ධනවාදය ලෝක පද්ධති න්‍යායක් ලෙස විග්‍රහ කරන චින්තන ගුරුකුලයක සාමාජිකයෙක් වන ජිවානි අරිගි විසින් රචිත ඇඩම් ස්මිත් ඉන් බෙයිජිං කෘතිය මඟින් මතු කරන දේශපාලනික ආර්ථික කාරණාවලින් අද අපි පටන් ගමු. ඇඩම්ස් ස්මිත් නම් ආර්ථික සිතන්නා වඩා අවධාරණය කරනු ලැබුවේ ජාතීන්ගේ ධනයයි. එසේත් නැත්නම් ධනවාදී ආර්ථිකය අභිබවන ජාතිකත්වය මත පදනම් වු දේශපාලනය මේ පවතින බටහිර සුසමාදර්ශයට පිළිතුරක් බවයි. මෙම කෘතියෙහි මුලික නිගමන මුඛ්‍ය කරුණු තුනකට ඌනනය කළ හැක.

1. චීනයේ සංවර්ධනය, ජාතීන් අතර අරගලයකට මිස ජාතිය තුළ අරගලයකට මඟ පාදන්නේ නැත. එය එසේ වන්නේ එහි සංවර්ධන මොඩලය වන වෙළෙඳපොළ ආර්ථිකය ධනවාදී එකක් නොවන නිසා ය.

2. චීනය තුළ සංවර්ධනය සාමයට, සමතික්‍රමණයට සහ අතික්‍රමණයට අදාළ මිස යුද්ධයට, ප්‍රතිවිරෝධයන්ට මඟ පාදන්නේ නැත.

3. චීනයේ නුතන සමාජ වර්ධනය අවසන් වනු ඇත්තේ මනුෂ්‍යත්වය නම් නිෂ්ටාවෙනි.

අරිගි විසින් ඉහත ඉදිරිපත් කරනු ලබන නිගමනවල සත්‍ය අසත්‍යතාව මැනීමට අප විසින් හැරිය යුත්තේ ධනවාදයේ අපට දැකිය හැකි ප්‍රකට නිෂ්පාදන ප්‍රකාර තුන වෙතටය. ධනවාදයේ ඉතිහාසය පිළිබඳ ඉතිහාසවේදියකු වන ෆර්දිනන්ද් බ්‍රෝදෙල්ට අනුව නිෂ්පාදන ක්‍රම හෝ අතිරික්තය නිපදවන මාදිලි තුනක් ඇත.

1. පවුල විසින් නිෂ්පාදනය කරනු ලැබීම. මෙහි දී නිෂ්පාදනය කරන්නේ ස්වපැවැත්ම සඳහා ය. මෙය පවුල් ශ්‍රමය වෙයි. මෙමඟින් නිපදවන්නේ තමන්ටම ය.

2. වෙළෙඳපොළ සඳහා නිපදවීම. මෙහි දී ශ්‍රමය මිලට ගන්නේ ලාභය සඳහා වෙළෙඳපොළට භාණ්ඩ විකිණීම සඳහා ය. මේ නිසා අතිරික්ත ධනය රාශිගත වෙයි.

3. අතිරික්තය අයිතිකර ගැනීම, කළමනාකරණය කිරීම සහ එමඟින් සමාජය සංවිධානය කිරීම. මෙම යුගය ඒකාධිකාරයන්ගේ යුගයයි.

චීනය තුළ ඉහත අංගවලින් තුන් වැන්න කොමියුනිස්ට් පක්ෂය විසින් රාජ්‍යය යටතට පවරා ගනු ලැබ ඇත. එමනිසා චීන සමාජය තුළ වැටුප් ශ්‍රමය පැහැදිලිව දකින්නට ලැබෙයි. ශ්‍රමිකයන් කොන්දේසි මත වැටුපට ගැනීම සහ ඉවත් කිරීම චීනයේ සිදු වෙයි. සරලව කිවහොත් 1982 ට පසු චීනය දේවල් නිෂ්පාදනය කරන්නේ පරිභෝජනය සඳහා නොව අලෙවි කිරීමට ය. එමඟින් ගතික, කාර්යක්ෂම සමාජ ක්‍රමයක් බිහි වී ඇති අතර සබුද්ධිකව ශ්‍රමයේ චර්යාව පාලනය කරයි. මෙය එංගලන්තයේ කාර්මික විප්ලවය නිසා හටගත් තත්ත්වයට සමානය.

1949 දී චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණි විගස ඔවුන් විසින් සමාජ නිෂ්පාදනයට අදාළ ප්‍රධාන සූත්‍රය මෙසේ ප්‍රතිව්‍යුහගත කරන ලදී. කොමියුනිස්ට් චීනය යනු පවුලට සහ සමාජයට අවශ්‍ය දේ පමණක් නිපදවන සමාජ ක්‍රමයකි. මෙමඟින් ආර්ථිකය කුටුම්භ සංරක්ෂණයක් බවට ඌනනය වෙයි. එය තවදුරටත් වෙළෙඳපොළ ආර්ථිකයක් නොවේ. පවුල විසින් ලාභය සඳහා නිෂ්පාදනය කරනු ලැබීම අත්හිටුවන ලද අතර තමන්ගේ පරිභෝජනය සඳහා පමණක් නිෂ්පාදනය කරන ලදී. මේ නිසා මෙවැනි ක්‍රමයක් තුළ වැටුප් ශ්‍රමයට ඉඩක් නැත. අතුරු ඵලයක් ලෙස අතිරික්ත වටිනාකම් නිපදවන්නේ නැති නිසා දේශපාලන අවකාශය වේගයෙන් කුඩා වෙයි.

මෙහි පසමිතුරුතා නැති නිසා දේශපාලනය මිය යයි. ආර්ථිකය නිවන් සරණ යයි. අතිරික්තයක් නිපදවුයේ නැති වුවත් සමාජය ප්‍රතිනිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිසා ශ්‍රමය එහි ඵලයන් අධ්‍යාපනයට, සෞඛ්‍යට, නිවාස තැනීමට, ආරක්ෂක හමුදා නඩත්තුවට යෙදවෙයි. අත්හදා බැලීමක් ලෙස හත්දෙනෙකුට නොවැඩි ව්‍යාපාර පටන් ගත් අතර මේ නිසා අලුත් තත්ත්වයන් තුනක් වර්ධනය විය.

1. වැටුප් ශ්‍රමය බිහි වීම.

2. සාමුහික අයිතියේ පදනමින් ව්‍යාපාර පටන් ගැනීිම.

3. හොංකොං වැනි බාහිර ප්‍රාග්ධනය හරහා ධනවාදී සමාජ සම්බන්ධකම් බිහි කිරීම.

1982 ට පසු සෘජු ලෙස චීන ආණ්ඩුව විසින් පෞද්ගලිකරණ වැඩසටහන් ආරම්භ කරන ලදී. පක්ෂයේ නිලධාරීන් මෙම ක්‍රියාවලියට සෘජු ලෙස දායකත්වය දීම ඇරඹිණ. කළමනාකරුවන් අයිතිකරුවන් බවට පරිවර්තනය විය. මෙමඟින් රාජ්‍යය හැර චීන සමාජය ධනේශ්වර සබඳතා බවට පරිවර්තනය විය. රාජ්‍යයේ මෙම ස්වරූපය දකින්නට ලැබෙන්නේ චීන කෘෂිකර්මය තුළ ය. එය තවදුරටත් පාලනය වන්නේ පවුල මඟිනි. එය තරගකාරීත්වයට යටත් කොට නැත. මහමඟ දී ඉන්දියාවේ මෙන් දරිද්‍රතාවය චීනයේ දකින්නට නොලැබේ. ඉන්දියාවේ සිඟන්නන් වෙනුවට චීනයේ සිටින්නේ උමතු වුවන්ය. යම්කිසි සමාජ ක්‍රමයක අග්‍රඵලය නිපදවන්නේ මෙම උමතුවට හිමි වෙස් මුහුණෙනි.

බීජිං ඔලිම්පික් උළෙල ආශ්‍රිතව සහ ඉඩම්වල මිල තීරණය කිරීමේ ක්‍රමවේදයන් නිසා බීජිං නගරයෙන් විශාල ජනකායක් බලහත්කාරයෙන් ඉවත් කළේය. ජීවිතයම සුරක්ෂිත කරන රැකියා අවස්ථා චීනය තුළ ක්‍රම ක්‍රමයෙන් හීන වෙමින් යයි. මෙතැනින් පසු චීනය අර්ථකථනය කිරීම සඳහා එහි සංස්කෘතිය දෙසට හැරීමට සිදු වෙයි. එතැන දී මාඕ සේතුංගේ අවසාන මතවාදී අරගලය වන සංස්කෘතික විප්ලවය ගැන යම් තරමකට සඳහන් කරන්නට සිදුවෙයි. මාඕගේ වචන සමකාලීන සන්දර්භයක් තුළ පරීක්ෂා කරන්නේ නම් ඔහුට අනුව කිසියම් දෙයක වර්ධනයේ මුලික හේතුව බාහිර තැනක පිහිටා නැත. එය ඇත්තේ අභ්‍යන්තරය තුළය. යමක චල්‍යතාවය අනුරූප වන්නේ එය තුළම ඇති ප්‍රතිවිරෝධතාවන්හි ය.

අවසාන වශයෙන් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය යන අදහස ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගෙන ආසියාවේ පැතිරී ගිය එකක් බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ අදහසෙහි කරුණුමය සහ න්‍යායික සත්‍යතාවය කුමක්ද යන්න වැදගත්ය. ලෝකයේ කේන්ද්‍රය අප යැයි සිතීම අවසන් වන්නේ මුලධර්මවාදයෙන් බව වටහාගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය වනුයේ අපගේ අභ්‍යන්තර කේන්ද්‍රය විකේන්ද්‍රීය වී ඇති බව වටහා ගැනීමයි. නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම ආදී සංකල්ප එක්සත් ජාතික පක්ෂයේ නොව එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථික විද්‍යාඥයින්ගේ අදහසකි. මේ පිළිබඳ ප්‍රාමාණික අදහසක් අවශ්‍ය අයට සිංහලට පරිවර්තනය වී ඇති නිර්බාධීකරණය හැඳින්වීම නම් කෘතිය කියවිය යුතුය. එය පරිවර්තනය කර ඇත්තේ මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ඉල්ලන රටවලට යෝජනා කරන සංකල්පීය රාමුව ව්‍යුහාත්මක ගැළපීම් යනුවෙන් හැඳින්වෙයි. එමඟින් අදහස් කරන්නේ සම්පත් පාවිච්චිය කාර්යක්ෂම කිරීමට රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශයට විතැන් කිරීමත්, වෙළෙඳාමට හසු නොවන භාණ්ඩ සහ සේවාවන් වෙළෙඳාමට හසුවන පරිදි විතැන් කිරීමත්ය. ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ ආණ්ඩු මඟින් කරන ලද්දේ මෙයයි. මෙහිදී මිනිස් ශ්‍රමය හෝ මානව සම්පත දියුණු කිරීම අතහැර දමයි. චීනයේදී සිදුවුයේ විශාල ඓතිහාසික වෙනස් වන අතර නැගෙනහිර යුරෝපයට වෙනස්ව චීනය තුළ සිදුවුයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි. චීනයේ ආර්ථික කලාප යනු ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප වලට සපුරා වෙනස් ය. ලංකාව තුළ සිදුකළේ පැවැති සමාජයට ප්‍රතිචාරයකි. චීනය තුළ සිදුවුයේ දේශපාලන ආර්ථික සංසිද්ධියකි. ආර්ථික විද්‍යාව සහ දේශපාලන ආර්ථිකය යනු සහමුලින් වෙනස් විෂයන් දෙකකි.

මුලාශ්‍ර‍ය සත්හඬ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com