බලය වෙනුවට අයිතිය -සාමිනාදන් විමල්

Jan 14, 2017
SaminadanW1

ලංකාවේ ප්‍රධාන දේශපාලන කතිකාව ජාතිවාදහරණය ජයගැනීමට තවමත් සමත්ව නැත. තවමත් වේදිකාවෙහි පසුතලය පුර්ව යුද සමයෙහිම පවතියි. නළු නිළියන්ගේ යම් වෙනසක් පවතියි. මඩකලපුව මංගලාරාමය හිමි සහ හිලරි වෙනුවෙන් නල්ලුර්වල පොල් ගසන ශිවාජිලිංගම් වැනි සහාය නළුවන් පිරිසක් වේදිකාවට ගොඩවී සිටීමත් ඩිජිටල් මෙවලම් වැනි රංග උපකරණ භාවිතයත් හැරුණ විට නාට්‍යයෙහි පැවසිය යුතු තරම් වෙනසක් නොමැත. ඇත්තෙන්ම දීර්ඝ කාලයක් මතවාදී තලයෙහිදීත් ප්‍රායෝගික ජීවිතයෙහිදීත් ජාතිවාදය සමඟ පොර බැඳ වෙහෙසට පත් වුවෙකු ලෙසින් පවතින තත්ත්වය දෙස අවධානය යොමු කරද්දී ඇති වෙන්නේ ඔක්කාරය දනවන අන්දමෙහි ජුගුප්සාවක් සහ අපේක්ෂා භංගත්වයෙහි කුණාටුවට අසුවු අන්දමෙහි තත්ත්වයකි.

එහෙත් ජාතිවාදහරණය හෝ සමාජ විමුක්තිය යන්න ව්‍යාපෘතියක් නොව ඉලක්කයක් වු අරගලකරුවෙකුට පසුබැසීම් සහ ඇද වැටීම් මිස ආපසු හැරීම් නොමැති බැවින් විඳ දරාගෙන ඉදිරියට යෑම මිස විකල්පයක් නොමැත. බලය බෙදීම නැතහොත් බලය විමධ්‍යගත කිරීම වැනි සංකල්පීය තලයෙහි විසඳුම් යෝජනා පිළිගැනීමට හෝ අවබෝධ කර ගැනීමට හැකියාවක් නොමැති සමාජය තවමත් කෑ මොර දෙන්නේ බුදු පිළිම තැබීමටත් බුදු පිළිම අයින් කිරීමටත්ය. ජනවාර්ගික අසංහිඳියාව නැති කිරීමට කෙරෙන ව්‍යාපෘති මේ අතර විගඩමක් බවට පත්වෙන්නේ දේශපාලන ප්‍රශ්න පසෙක තබා වඩේ-කිරිබත් හුවමාරු කර ගැනීම වැනි සරල මතිකයන්ගේ ක්‍රියාකාරකම් වලට ලඝු කිරීම මඟින්ය. එක අතකින් බලය දියව් යැයි හඬ නඟද්දී අනෙක් පැත්තෙන් ඇසෙන්නේ රට බෙදනවෝ යන කෝලාහලයයි.

යුද්ධය අවසන් වු පසුව දෙමළ සමාජයත් එමෙන්ම ජාතිවාදයහරණය වෙනුවෙන් කැපවුණු බහුතරයකටත් පවතින ප්‍රශ්නය වන්නේ විසඳුම් දිශානතිය කරා යන ගමනට සමාජය තුළින් අනුමැතිය ලැබෙන මතයක් ඇති කරන්නේ කෙසේද යන්නයි. ඇත්තෙන්ම යුද්ධය පැවැති කාලවකවානුවෙහි සාමය වෙනුවෙන් පෙනී සිටි පිරිසෙන් බහුතරය දේශපාලනිකව දෙමළ ජනයාගේ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳව සබුද්ධිකව සිටි පිරිසක් නොව යුද්ධයෙන් පරිපීඩිත දෙමළ ජනයා පිළිබඳව සානුකම්පිතව බැලු අය වේ. එය කිසිසේත්ම අවතක්සේරුවකට ලක් කළ යුතු කරුණක් නොවන බව සත්‍යයකි. නමුත් ගැටළුව එම මානවවාදී හැඟීම මුළුමනින්ම යුද්ධය මත පදනම්ව පැවතීමත් යුද්ධය නොමැති තත්ත්වයක් තුළ එම හැඟුමට ඇති සමාජ බලය අවම වීමත්ය.

එහෙයින් යුද්ධය නොමැති තත්ත්වයක් තුළ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබද සංවාදය බලය යන්නෙහි සිට අයිතිය යන්න දක්වා විතැන් වීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. දෙමළ දේශපාලනය පැත්තෙන් අපිට බලය දියව් යන්න වෙනුවට අපිට අයිතිවාසිකම් දියව් යන්නට මාරු විය යුතුය. මක් නිසාද යත් බලය යන්න ආධිපත්‍ය පිළිබඳ අදහසක් සංජානනය කරන අතර එයට අනුමැතිය ලබා ගැනීම අසීරු කරුණකි. නමුත් අයිතිවාසිකම් යන්න අරගලය සම්බන්ධ අදහසක් ජනිත කරන්නකි. එමෙන්ම එය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් වෙයි. එයිනුත් අයිතිවාසිකම් යන්න හුදු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් යන්නට ලඝු නොවී ලංකා සමාජයෙහි සමස්ත සමාජ ව්‍යුවහයෙහිම ප්‍රතිසංස්කරණ කරා යොමු වුණු අරගලයක කොටසක් ලෙසින් එය එයට ඇති සුජාතභාවය සමඟ සම්බන්ධ විය යුතුය.

මුලාශ්‍ර‍ය සමබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com